කතු සටහන

චිත්‍රකතා කලාවට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් 1952 වසරේදී ලංකාදීප පත්‍රයෙන් ඇරඹි ජී. එස්. ප්‍රනාන්දුගේ නීලා චිත්‍ර කතාවත් සමග ලන්දේසි හටන, ශ්‍රී වික්‍රම වැනි චිත්‍රකතා පාඨකයින් වැළඳ ගත්තේ මෙරට සිංහල චිත්‍රකතාවට අලුත් පාඨක පිරිසක් එක්කරමිනි. වචන දහසක් එක් චිත්‍රයකින් හඳුනාගත හැකි ප්‍රබල මාධ්‍යයක් ලෙස චිත්‍රකතා මාධ්‍යය 70-80 දසකයේදී ඉහළ මට්ටමක පැවති බව නොරහසකි.
චිත්‍රකතා ලොවේ විශාල විප්ලවයක් ඇති කරමින් ඇරඹුණ පළමු වන චිත්‍රකතා පත්‍රයේ ආරම්භක කර්තෘ බන්දුල සමරසිංහ මහතාගේ කතුවැකියේ සඳහන් වී ඇත්තේ මෙසේය: “චිත්‍රකතාව ලොකු කුඩා කාගේත් විනෝදය ඔස්සේ දැනුම වඩවන ප්‍රධානතම කලාව වී ඇත්තේය.

මේ අතින් අපේ රට තවමත් කෝඩුය. එය සපුරාලමින් කාටත්, විශේෂයෙන්ම තරුණ පරපුරට සෑහෙන අන්දමින් සතුට ගෙනදීම අපේ බලාපොරොත්තුවයි. විනෝද කතා මෙන්ම ගැඹුරු සාහිත්‍යයද ඉතා ලිහිල්ව එසේම සතුට මුල් කොටගෙන චිත්‍රකතා මගින් ඉදිරිපත් කරමු”
එදා චිත්‍රකතා පත්‍රයක පරමාර්ථය සහ අරමුණු කුමක්ද යන්න පැහැදිළි විය. එම පරමාර්ථ සහ අරමුණු හතලිස්නව (49) වසරකට පසුව දැන් කොතරම් දුරට ඉටුවී ඇත්දැයි යන්න අද පැහැදිළි වනු ඇත. වාණිජ්‍යය පමණක් පරමාර්ථ කරගෙන චිත්‍රකතා පත්තර සමග සියලුම චිත්‍රකතා පත්තර නැතිවී යාම පුදුමයට කරුණක් නොවේ. සංස්කෘතික සෝදාපාළුවකට ලක්වී ඇති අද ශ්‍රී ලාංකික සමාජයේ තුප්පහි සංස්කෘතිය මුවහත් කරන ආයුධයක් බවට පත්වූ චිත්‍රකතා කලාවක් නිසා වාණිජ්‍යය අතින් අවාසිදායක තත්ත්වයක් ඇතිවූ සියලුම චිත්‍රකතා පත්තර වැනසී ගියෝය.


සියලුම දෙනා හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරති. හොඳ අනාගතයක් හිමිකරගත යුතුය, හිමිවිය යුතුය යැයි අපේක්ෂා කරති. ප්‍රාර්ථනා කරති. තම දූදරුවන්ට හොඳ අනාගතයක් අත්‍යාවශ්‍ය බව දනිති. එහෙත් අනාගතයක් ගොඩනගන්නේ නම් අපගේ අතීතය ගැන දැනුවත්ව සිටිය යුතුය. එහෙත් අතීතය ගැන දැන සිටිය යුතු බව දන්නේ කීයෙන් කීදෙනාද? නිවැරදි දෙයකින් උතුම් සතුටක් හා විනෝදයක් ලබාදීම අපගේ අරමුණයි.


ශ්‍රී ලාංකේය චිත්‍රකතා කලාව ජාත්‍යන්තරයට ගෙන යා යුතු යැයි යන සිතිවිල්ල පහළ වුයේ මීට වසර කීපයකට පෙරදීය. එදා චිත්‍රකතා ලොවේ දැවැන්තයින් ඇසුරේ ලද අත්දැකීම් ගුරුහරුකම් ඔස්සේ මගේ ජීවන ගමනේ පන්නරය ලබාගන්නට හැකි වීම භාග්‍යයක් ලෙස සලකමි. හැත්තෑ වසරක් ගෙවූ ශ්‍රී ලාංකේය චිත්‍රකතා කලාව අද වෙනස් වී ඇත. විශ්ව ගම්මානයට සියලුම දෙනා පියමං කරමින් සිටිති.
චිත්‍රකතා ඇඳ පත්තර කන්තෝරු ගානේ ඇවිද ගිය හැත්තෑව දශකයේ මුල් කාලය අදද සිහිපත් කරන්නේ සුන්දර අසුන්දර අත්දැකීම් සමුදායක් මැදය. වසර තිහක් හතලිහක් පුරාවට පරිගණකයත් ග්‍රැෆික් නිර්මාණයත් අතර සිටියදී අලුත් සංකල්ප ඇතිවුවද ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළේ උචිත කාලය පැමිණෙන තුරුය.


ලංකාකොමික්ස් බීජය රෝපණය කර සෙමෙන් වැඩෙන්නට හැරීමේ ප්‍රතිඵලය වූයේ ලංකාකොමික්ස් අන්තර්ජාලයට එක්වීමයි. ලංකාකොමික්ස් වැඩෙන විට ඊට අවශ්‍ය වෙබ් අඩවිය සැලසුම් කළ නයන මලින්ත සපුමල් බණ්ඩාර සමරකෝන් මගේ ලොකු පුතාගේ දස්කම් මම බෙහෙවින් අගයමි.


මෙම වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු සඳහා ප්‍රවීණයන් සහ නවකයන් එකතු කරගැනීම අභියෝගයක් විය. කෙසේ නමුත් මගේ කලණ මිතුරු අජිත් ලාල් මේ අභියෝගයන් හමුවේ මට ශක්තියක් විය. එමෙන්ම අනුර ශ්‍රීනාත්, අරවින්ද සේනාධීර, ප්‍රසංග පිගේරා, වසන්ත පරනවිතාන, නිරෝෂන් කරුණාතිලක වැනි කළණ මිතුරන්ගේ සහයෝගයෙන් ද, එමෙන්ම තලංගම ජයසිංහ, ගොංගිතොට ප්‍රේමරත්න, ඇන්ටන් බී පෙරේරා යන ප්‍රවීණ ශිල්පීන් ගෙන් ලද සහය නිසා මෙම සංකල්පය ක්‍රියාවට නැගීම එතරම් අපහසු කටයුත්තක් නොවීය. එමෙන්ම කළණ මිතුරු අනුර ශ්‍රීනාත් සිය “දකුණේ යුද්ධය” චිත්‍රකතාව මෙහි පලකිරීමට නොපැකිලව ලබාදීමද අගය කරන්නෙමි. ප්‍රවීණයන්ගේද නවකයන්ගේද නිර්මාණ වලින් “ලංකාකොමික්ස්” ඉතා ඉක්මණින් ඔපවත් වනු ඇත. ආධුනික පරපුරටද “ලංකාකොමික්ස්” දොරටු විවර කර ඇත.


මේ කටයුතු සියල්ල හමුවේ සිය සහය නොමදව ලබාදෙන ප්‍රවීණ ලේඛීකා ප්‍රියංකා අමරතුංග මා ප්‍රියදරිය සෙනෙහසින් සිහිපත්කරමි. මේ කටයුත්තට සහය දුන් අප පුතුන් දෙදෙනාගේත්, දියණියන් දෙදෙනාගේත් අදහස් සියල්ල “ලංකාකොමික්ස්” නැවත එළිදැක්වීමට වැදගත්විය.
ගලන සැඩපහරට එක්ව යාම පහසුය. එහෙත් විනාශය කරා ගලා යන සැඩපහර ආපසු හැරවීම දුෂ්කර වෙයි. අප ආරම්භ කරන මේ අති දුෂ්කර කාර්යයටද ඔබගේ සහයෝගය නොඅනුමානවම ලබා දෙනු ඇතැයි අපගේ විශ්වාසයයි. ඒ “ලංකාකොමික්ස්” වෙබ් අඩවිය ඔබගේද වන නිසාය. ඔබගේ ප්‍රතිචාර, ගුණදොස්, අදහස් අප ඉතා අගය කරමු.

මහනුවර ලලිත් බී. සමරකෝන්
සංස්කාරක

%d bloggers like this: