අනුර ශ්‍රීනාත්

චිත්‍රශිල්පි, චිත්‍රකතා නිර්මාණ ශිල්පි අනුර ශ්‍රීනාත්

චිත්‍රශිල්පි, චිත්‍රකතා නිර්මාණ ශිල්පි අනුර ශ්‍රීනාත්

1972 ආරම්භ කරන ලද ‘සතුට’ චිත්‍රකතා පත්‍රයට පසුව අලෙවි වාර්තා තබමින් 1975 වසරේ බිහි වූ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය “සිත්තර” චිත්‍රකතා පත්‍රයට 1979 දී තනි දවසේ චිත්‍රකතා නිර්මාණය කරමින් චිත්‍රකතා ලොවට පිවිස අද සුවිශේෂි නාමයක් සටහන් කරගන්නා ඔහු ප්‍රවීණ චිත්‍රශිල්පියකු මෙන්ම චිත්‍රකතා නිර්මාණ ශිල්පියකුද වන අනුර ශ්‍රීනාත් නම් වෙයි.

“මගේ ජීවිතයේ මුලින්ම චිත්‍රකතාවට මාව උනන්දු කලේ පී. ඒ. ලීලාරත්න මහත්මයා තමයි. එතුමා මාව ප්‍රවීණ කාටුන් චිත්‍රශිල්පී කැමිලස් පෙරේරා මහත්මයාට හඳුන්වලා දුන්නා එතුමා මට මුලින්ම එක් දිනයකින් ඉවරවෙන චිත්‍රකතා අඳින්න ඉඩ ලබාදුන්නා. එහෙම තමයි මම “සිත්තර” පත්‍රයට සම්බන්ධ වුණේ”යැයි පවසමින් ඔහු අතීත මතකයන් අවදි කලේය.

“ඉන්පස්සේ ඒ ආයතනයෙන්ම 1979 දි ‘සුහද’ චිත්‍රකතා පුවත්පත නිකුත් කලා. එහි මම නිර්මාණය කළ චිත්‍රකතාව තමයි ‘යකාට බයනම්’ කියන චිත්‍රකතාව. ‘සුහද’ පත්තරේ ඉන්න කාලේ තමයි උපාලි විජයවර්ධන මහත්මය අලුතින් චිත්‍රකතා පත්තරයක් පටන් ගන්නව කියන ආරංචිය ආවේ. ඒ ආරංචිය ගෙනාවේ පී. ඒ. ලීලාරත්න මහත්මයා. උපාලි විජයවර්ධන මහත්මයා උපාලි පුවත්පත් සමාගමෙන් ආරම්භ කල මංගල පුවත්පත වුන ‘චිත්‍රමිත්‍ර’ චිත්‍රකතා පත්තරෙට මාත් එක්ක ඇන්ටන්. බී. පෙරේරා, ජනක රත්නායක, පී. ඒ. ලීලාරත්න, වැනි ප්‍රවීණ චිත්‍රකතා ශිල්පීන් දහතුන් දෙනෙක් සම්බන්ධවුනා. මමත “චිත්‍රමිත්‍ර” පත්තරේ හය අවුරුද්දක් හිටියා. “චිත්‍රමිත්‍ර’ එකට ‘තිත්තයගෙ වාරෙ’, ‘නිල් කටුස්සෝ’, ‘සමනලයා‘, ‘සැබෑ මිනිස්සු’, ‘සොඳුරු කතා දුවට එපා’ යන චිත්‍රකතා නිර්මාණය කළා.

“ඉන් පස්සෙ අපි යාලුවො කීප දෙනෙක් එකතු වෙලා ‘මල්සර’ කියල චිත්‍රකතා පත්තරයක් පටන් ගත්තා. ඒත් අපි බලාපොරොත්තු වුණ විදියට අපිට ඒක දිගටම කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා මං වගේ ම අනික් අයත් අමාරුවෙ වැටුණා. කාලයක් වෙළඳ දැන්වීම් කලාවට සම්බන්ධ වෙලා හිටියත් මට ඉන් තෘප්තියක් ලැබුනේ නෑ. ආයෙමත් වසර ගණනාවකට පස්සේ චිත්‍රකතා අඳින්න ඇරයුමක් ලැබුනා. ඒ අනුව තමයි මම නැවත “සිත්තර” චිත්‍රකතා පත්තරේට සම්බන්ධ වුනේ. ඒ බන්දුල පද්මකුමාර මහතාගේ ඇරයුමට ‘මල්කැකුලක් ඉකි බින්දා’, චිත්‍ර කතාවෙන්. ඉන් පස්සෙ ‘එන්න එපා කෝච්චිය’, ‘කෝ’, ‘බිම්මල් යාය‘, ‘9 වෙනි සැතපුම‘, ‘අනාගතේ දවසක්දා’, ‘ආදරණීය රෝසි’ චිත්‍රකතා නිර්මාණය කලා.

දිනපතා නිකුත් වන ‘අද’ පුවත්පතට ‘කොන්දා’ කියන චිත්‍රකතාව ඇන්දා. පස්සෙ ඒක ටෙලිනාට්‍යයක් බවටත් පත්වුණා. එය ජාතික රූපවාහිනියේ ‘ඉස්සරහට යන්න’ නමින් කොටස් 100 දක්වා විකාශය වුණා.

‘කවුරුවත් නෑ ආදරේ’, ‘පිස්සු නැත්නම් ෂෝක් පුතා‘, ‘බිම්මල් යාය’, ‘සමනලයා’, ‘එන්න එපා කෝච්චිය‘, ‘බෝනික්කෝ’, ‘කැට් බෝයි’, ’සීයා’ වගේ චිත්‍රකතා 70කට වඩා මම නිර්මාණය කරල තියෙනවා

“සීයා කියන චිත්‍රකතාවෙන් කියවෙන්නේ බෙහෙතක් විදලා තරුණ වෙන සීයා කෙනෙකුගේ කතාවක්. මම ඒක නිර්මාණය කලාට පස්සෙ ඇමරිකාවෙ පැරමවුන්ට් කියන චිත්‍රපට සමාගම ඒ කතාව ඇසුරෙන් චිත්‍රපටයක් කලා. නමුත් මට ඒකට විරුද්ධව සටන් කරන්න, මගේ කතාව ගැන අයිතිය කියන්න හැකියාවක් තිබුනේ නැහැ. ඒ චිත්‍රපටය ඔස්කාර් සම්මාන පවා ලබාගත්තා.”

“මගේ චිත්‍රකතාවලට කතා ලියන්නෙත් මමමයි. මං කාටවත් බය නෑ නිදහස්ව මගේ අදහස් ප්‍රකාශයට පත් කරනවා. අසභ්‍ය දේවල්, සමාජ විරෝධී දේවල්, බොළඳ දේවල් මගේ චිත්‍රකතා තුළ ඇත්තේ ම නැහැ. මගේ නිදහස් අදහස්වලට මෙතෙක් කාගෙන්වත් බලපෑමක් ඇති වෙලත් නැහැ.”

“මගේ ගම කිරුළපන. පාසල් ජීවිතය ගෙවුනේ ලුම්බිණි මහා විදුහලේ. විද්‍යා අංශයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. පාසලේදී චිත්‍ර ශිල්පයට උනන්දු වුනේ නෑ. ඒ වගේම චිත්‍ර විෂයයක් වශයෙන් ඉගෙන ගත්තෙත් නෑ. එත් මට චිත්‍ර අඳින්න සහජ හැකියාවක් තිබුනා. මගේ තාත්තත් චිත්‍ර ශිල්පියෙක්. තාත්තා චිත්‍ර අඳින දිහා අනන්තවත් බලාගෙන ඉන්නවා. තාත්තා වෙසක් තොරණ අඳිනව බලාගෙන ඉඳිද්දි තමයි මටත් චිත්‍ර අඳින්න ආසා හිතුනේ. මගේ පාසල් ජීවිතයේ මගේ බලාපොරොත්තුව තිබුනේ හමුදා නිලධාරියෙක් වෙන්න, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් දෛවය මාව චිත්‍ර ශිල්පියෙක් කලා. ඒ කාලේ ‘සතුට’, ‘සිනෙත්‍ර’, ‘සිත්තර’, චිත්‍රකතා පත්තර බලන්න පිස්සුවක් වගේ තිබුණා. ඒ චිත්‍රකතා දැකල තමයි චිත්‍ර කතා අඳින්න ආසා හිතුනේ. ඒ කාලේ තමයි මට පී. ඒ. ලීලාරත්න මහත්මයාව මුණගැසුනේ. ඒතනින් තමයි මගේ ජීවිතය වෙනස් උනේ. මාව මෙතෙනට ඔසවා තැබුවේ පී. ඒ. ලීලාරත්න මහත්මයා කිව්වොත් ඒක නිවැරදියි.”

“අදටත් මම ‘අද’ පුවත්පතට දිනපතා චිත්‍රකතා නිර්මාණය කරනවා. ඒක අති වෙහෙසකර වැඩක්. ඒත් මගේ ඇඟේ තියෙන්නේ චිත්‍රකතා නිර්මාණය. මම චිත්‍රකතා නිර්මාණය කිරීම නවත්වන්නේ නෑ. නිර්මාණකරුවෙක් විදියට මං එයින් විශාල සතුටක් වගේම තෘප්තියක් ලබනවා.”

1979 වසරේ සිට වසර 29 ක් තිස්සේ චිත්‍රකතාලෝලී රසික සිත් සතන් පිනවමින් වටිනා චිත්‍රකතා නිර්මාණයේ යෙදෙන අනුර ශ්‍රීනාත් ච්ත්‍රශිල්පියාට ‘ලංකාකොමික්ස්’ වෙතින් සුභ පැතුම් ! .

එමෙන්ම lankacomics.com රසිකයන්ගේ රස වින්දනය උදෙසා සිය ‘දකුණේ යුද්ධය’ චිත්‍රකතාව lankacomics.com වෙබ් අඩවිය වෙත ලබාදෙමින් දැක්වු අනුග්‍රහය පිළිබඳවද අපගේ හෘදයාංගමවූ ස්තුතිය පළ කර සිටිමු.

-එල්බියස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: