තලංගම ජයසිංහ

දිවයිනේ ජේෂ්ඨතම ප්‍රවීණ චිත්‍රශිල්පී, චිත්‍රකතා ශිල්පී, කාටූන් ශිල්පී හා මාධ්‍යවේදී තලංගම ජයසිංහ

දිවයිනේ ජේෂ්ඨතම ප්‍රවීණ චිත්‍රශිල්පී, චිත්‍රකතා ශිල්පී, කාටූන් ශිල්පී හා මාධ්‍යවේදී තලංගම ජයසිංහ යන් පිළිබඳව පළකරනු ලැබූ ලිපිවලින් උපුටාගත් කරුණු එකට සම්පිණ්ඩනය කොට සැකසුූ කෙටි සටහනකි.

එය 1954 වර්ෂය විය. කොට කලිසමකින් සැරසුණු 18 වියැති කොලු ගැටයකු ලේක්හවුස් ආයතනයේ පියගැට පෙළ නැඟගෙන ආවේ ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ හමුවීමටය. එදා ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක නිලධාරීන් නොසිටිය ද සරමක් හා කබායක් හැඳ ඉදිරිපසට වී සිටි පුද්ගලයකුට කර්තෘ හමුවීමේ අවශ්‍යතාව පැහැදිලි කළ යුතු විය. “චිත්‍ර කතාවක් ඇඳගෙන ආවේ. ඒක කර්තෘට පෙන්වන්න ඕනෑ.” යනුවෙන් කොලු ගැටයා පැවසුව ද ඔහුට චිත්‍ර කතා ගැන කිසිවක් අවබෝධ වූයේ නැත.

කෙසේ හෝ ඔහුට පියසේන නිශ්ශංක සූරීන් හමුවීමට අවස්ථාව ලැබිණි. ප්‍රධාන කර්තෘ ඔහුව ජයවිලාල් විලේගොඩට යොමු කළේය. චිත්‍ර කතාව පිරික්සා බැලූ ජයවිලාල් විලේගොඩ “ෂා; මේක නියමයිනේ. පත්තරේ පළ කරමු.” යනුවෙන් තීන්දු කළේය.

‘දිනමිණ’ පුවත්පතේ ප්‍රථම චිත්‍රකතාව ලෙස “චිත්‍රා” නමැති මෙම චිත්‍රකතාව 1954 දී පළ කෙරුණේ ඒ ආකාරයටය. එදා 18 හැවිරිදි ශිෂ්‍යයකු ලෙස මෙම චිත්‍ර කතාව රැගෙන ආවේ තලන්ගම ජයසිංහය. ඉන්පසුව 1957 වසරේදී ඔහු ලේක්හවුස් ආයතනයේ චිත්‍ර ශිල්පී තනතුර සඳහා සේවයට බඳවා ගැනිණි. 1954 සිට දශක 7 කට ආසන්න කාලයක් චිත්‍ර ශිල්පියකු වශයෙන් කටයුතු කරන ඔහු අදටත් ජාතික පුවත්පතකට දේශපාලන කාටූන් චිත්‍ර අඳින ජ්‍යෙෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකි.

90 දශකයේ මුල් භාගයේ දී තිරගත වුණු අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වූයේ “සප්ත කන්‍යා” චිත්‍රපටයයි. “සප්ත කන්‍යා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එච්.ඩී ප්‍රේමරත්නයන් විසිනි. ඔහු එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ තලන්ගම ජයසිංහයන් විසින් නිර්මාණය කරන ලද “වියරු මුහුද” චිත්‍ර කතාව ආශ්‍රයෙනි.

තලන්ගම ජයසිංහ තම චරිතාපදානය වචන වලට පෙරළුවේ මෙසේය.

“මම උපන් තලන්ගම ග්‍රාමයට මම හරිම ආදරෙයි. ඉස්සර පොඩිකාලේ අපි දියවන්නා ඔයේ එහා ඉවුරේ ඉඳලා මෙහා ඉවුරට පීනන්නේ පුදුම විනෝදයෙන්. මගේ පවුලේ ගෑනු ළමයි තුන්දෙනයි පිරිමි ළමයි දෙන්නයි. මං පාසල් යාම ආරම්භ කළේ වයස අවුරුදු තුනේදී. ඒ බත්තරමුල්ල, පැලවත්තේ විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලට. පසු කාලෙ වෙද්දී මම ළමා සඟරාවලට කවි ලිව්වා, චිත්‍ර ඇන්දා. අපරාදෙ කියන්න බෑ යවන යවන හැමදේම සඟරාවේ පළවුණා. මේ අඳින චිත්‍රවල කාටුන් හුරුව තිබුණේ. චිත්‍රයට යටින් කවි පදයකුත් ලියනවා. මේ හැමදේම පළ වෙනවා. මුලදී මම පාවිච්චි කළේ තලන්ගම තිලක ජයසිංහ කියලා. පස්සේ තිලක නම අතහැරියා.

අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවට පස්සෙ මං රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) පස් අවුරුදු පාඨමාලාවක් සඳහා සම්බන්ධ වුණා 1951දී. එහිදී අධ්‍යාපනය ලද මුල් මාස තුන පසුවීමත් සමග තලන්ගමගේ දක්ෂතාව තේරුම් ගත් ගුරුවරු ඔහුට උසස්වීම් දෙකක් ලබා දුන්නේ වාර දෙකකදීම පන්තියක් පසුකර පන්තියකට යාමට ඉඩ සලසා දෙමිනි.

“චිත්‍ර, මූර්ති, මැටි හා ලාකඩ කියන විෂයන් හතරම මම මෙහිදී හැදෑරුවා. ඊට අමතරව නිවාස සැලසුම පිළිබඳවත් ඉගෙන ගත්තා. මගේ නිවසත් මගේම සැලසුමට අනුවයි ගොඩනැගුණේ. මේ එක්කම මම මරදානේ ටෙක්නිකල් කොලේජ් එකට යන්න ගත්තා වැඩිදුරටත් චිත්‍ර විෂය හදාරන්න.”

“හේවුඩ් එකේ ඉගෙන ගන්න ගමන් වෙළෙඳ දැන්වීම් ආයතනයක අමතර රස්සාවකට ගියේ ජීවත්වෙන්න ඉගෙන ගන්න සල්ලි ඕන නිසා. මේ වෙද්දි නංගිලා දෙන්නත් ඉගෙන ගන්නවා. එයාලගෙ ඒ කටයුතු බලන්න වුණෙත් මට. පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150 යි. මේ වගේ මම දැන්වීම් ආයතන පහක වැඩ කළා. මේ අතරේ තමයි 1956දී සිළුමිණ පත්තරේට චිත්‍ර ශිල්පියෙක් අවශ්‍යයි කියන දැන්වීම දැක්කේ. මේ වෙද්දි මගේ වයස අවුරුදු 19යි. කොහොමහරි පත්තරයක වැඩ කරන්න තිබුණු ආසාවටම රුපියල් 250ක් වැනි වැටුපකට මම මේ රස්සාව තෝරාගත්තේ 400ක් වැනි අයදුම්කරුවන් අතරින් මාව තෝරාගෙන තිබුණු සතුටත් හිතේ ඇතිව.”

“අවුරුදු 42ක් ලේක්හවුස් ආයතනයේ වැඩකළා. ඒ කාලේ මම ඇඳපු ඇටසැකිල්ල, මිනිස් දඩයම, ඩී. වී. සෙනවිරත්න‘යන් ලියූ ‘ මා ආලය කල තරුණිය‘, සෝමවීර සේනානායකයන් ලියපු ‘සත්වෙනි දවස’ චිත්‍ර කතාව‘ අවසානය දක්වා සිතුවමට නැගවා. ඒක මුලින් ඇන්දෙ බන්ධුල හරිස්චන්ද්‍ර. බන්ධුල ලේක්හවුස් එකෙන් ඉවත්ව ගියාට පසුව තමයි සත්වෙනි දවස අවසානය දක්වාම ඇන්දෙ. ඒ වගේම කල්හාරී, ‘මිනිස් දඩයම’ සෙනෙහසක කඳුළු’ ‘පණට පණ‘ ‘වියරු මුහුඳ’ ‘තවත් අවුරුදු සීයකට පසු’ චිත්‍ර කතා ගොඩාක් ජනප්‍රිය වුණා. 1998 වසරේදී මං ලේක්හවුස් ආයතනයෙන් ඉවත්වුණා. ඒ වෙද්දි මම අවුරුදු 18ක් මධුර පත්‍රයේ කර්තෘ පදවිය දැරුවා. 2005 අවුරුද්ද වෙනකම් සිළුමිණ පත්‍රයට චිත්‍රකතා ඇන්දා. මේ වෙද්දි මම චිත්‍රකතා 72ක් පමණ නිර්මාණය කරලා තියෙනවා.”

දේශීය සන්නිවේදන ක්ෂේත්‍රයේ චිත්‍රකතා භාවිතය හරහා නමක් දිනා සිටින ප්‍රමුඛ පුද්ගලයකු ලෙස තලන්ගම ජයසිංහ මෙරට කාගේත් මතකයේ රැඳී ඇතුවාට සැක නැත. රුවින් නොහඳුනන නමුත් තලන්ගම කියූ සැණින් ජයසිංහ නාමයත් අගට එකතු වී ක්ෂණිකව “තලන්ගම ජයසිංහ” යන නාමය මතක් වීමට තරම් ලාංකීය හදවත් තුළ ඔහු ජීවත් වෙමින් සිටී. පුවත්පත්, චිත්‍ර කතාව හා කාටුන් කලාව ජීවිතය කරගත් තලන්ගම ජයසිංහ, ජෝර්ජ් එඩ්මන්ඩ් නමින් බැහැරව තමන්ගේ උපන් ගමේ නමින් පෝෂණය වූ රහස මෙසේය.

ඒ වදන් මෙසේය. “අපි උපන්න කාලේ තිබුණේ සුද්දන්ගේ ආණ්ඩුවනේ. 1948 අවුරුද්දට කලින් ඉපදුනු අපි සැවොම බි්‍රතාන්‍ය ජාතිකයෝ. උප්පැන්න සහතිකයේ තියෙන්නේ එහෙමයි. මගේ නමත් ජෝර්ජ් එඩිමන්ඩ් ජයසිංහ. තාත්තා ජෝර්ජ් ඇල්බට් ජයසිංහ. මගේ මේ ඉංග්‍රීසි නමට මම ආස වුණේම නැහැ. මගේ තාත්තා නැතිවුණේ 1955දී. තාත්තා නැති වුණත් හරි තාත්තත් එක්කම මම මගේ ඉංග්‍රීසි පන්නයේ නමත් වළ දැම්මා. 1936දී මම ඉපදෙන කොට මට ලැබුණු ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ නම 1955දී තලන්ගම ජයසිංහ විදිහට මාරු වුණේ ඔන්න ඔය විදිහටයි. මට අනිත් අය අතර කැපිලා පේන්න ඕන විදිහේ නමක් නෙමෙයි ඕන වුණේ. මගේ පහසුවට, භාවිතයේ පහසුවට කෙටි නමක් හා නියම හුරුවේ සිංහල නමකුයි මට ඕන වුණේ. ” යයි තලන්ගම ජයසිංහයන් අභිමානයෙන් යුතුව පවසයි.

අපේ තාත්තාට දරුවන් පස්දෙනෙක් හිටියා. ඒ පුතුන් සිව් දෙනෙකුත් දියණියකුත්. ඉන් වැඩිමහල් දරුවා උනේ මම. තාත්තා අපට දුන් ආදර්ශ මෙපමණකැයි කිව නොහැකියි. එවන් පියෙකු ලද මා භාග්‍යවන්තයෙකු යැයි මම නිතර සිතමි. සිය සැඳෑ සමය ගෙවන තාත්තා අදටත් සිය පාඨක ජනතාව වෙත සිය නාමය ගෙනයන්නේ “ලංකාදීප” පුවත් පතින් “ඒ තුමා” සහ “පලාමල්ල” යන දේශපාලන කාටූන් ද්විත්වයක් ඉදිරිපත් කරමින්ය.

තාත්තාට දීර්ඝායුෂ පතමි.

Ayoma Jayasinghe විසින් සිය පියාණන්ගේ 85වන උපන්දින සැමරුම වේනුවේන් සටහන් කරන ලද ලිපිය ඇසුරෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: