ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන පිළිබඳවයි……

ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන පිළිබඳවයි……

චිත්‍රකතා නිර්මාණය, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය, නාට්‍ය රඟපෑම(මුල් කාලයේ), දැන්වීම් නිරූපණය යන කාර්යයන්හි නිරත වූ ඔහු නිර්මාණය කල එක් චිත්‍රකතාවක් පාඨකයන් අතරේ ‘මේඝ’ යක් ලෙසින් හමා ගියා…. මේ විමසුම ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන පිළිබඳවයි……

1937 වසරේ මාර්තු 14 වනදා කැළණිය ග්‍රාමයේ උපත ලබන අනුර අධ්‍යාපනය සඳහා ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයට දෙමාපියන් විසින් ඇතුලත් කෙරිණ. මගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනා මෙම විද්‍යාලයේම ඉගෙනුම ලැබූ බව සඳහන් කල යුතුයි. පසුව කලා ක්ෂේත්‍රයේ ඉහළට පැමිණි සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුනිල් එදිරිසිංහ, විල්සන් ගුණරත්න වැන්නවුන් අනුරගේ සමකාලීන ශිෂ්‍යයන් වීම ද විශේෂත්වයකි. පාසල් කාලයේදී ඔහු චිත්‍ර ශිල්පියෙක් ලෙස අනෙකුත් ශිෂ්‍යයන් අතරේ කැපී පෙනුන අතර විද්‍යාලයේ උත්සව වලදී ගුරුවරුන් හට ඔහුගේ සහාය අවශ්‍ය විය.

පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව ඔහු රජයේ ලලිත කලායතනයට (එම යුගයේ හේවුඩ් ලෙස හැඳින්වුණා) බැඳුණේ තවදුරටත් චිත්‍ර විෂය දියුණු කරගන්නා අදහසෙනි. එම යුගයේ එහි සිටි ඩේවිඩ් පේන්ටර්, ජී. ඩී. ඒ. පෙරේරා සහ ස්ටැන්ලි අබේසිංහ වැනි දක්ෂ ගුරුවරුන්ගේ ඇසුර සහ ගුරුහරුකම් ලබන්නට තරම් ඔහු වාසනාවන්ත විය. මේ කාලයේදී තම සමකාලීන මිතුරු එස්. සී. ඕපාත සමග එක්ව ඔහු චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීය. කලායතනයෙන් ඩිප්ලොමා උපාධිය ලද ඔහුගේ එකම සිහිනය වූයේ චිත්‍ර කලාව තම වෘත්තීමය ජීවිතය කරගැනීමයි. මෙම අතරවාරයේ ඔහු තම පාසල් මිතුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ කල නාට්‍ය නිර්මාණයක චරිතයක් නිරූපණය කල බව පසුකාලයේ මා සමග පැවසුවේය.

විවිධ චිත්‍ර නිර්මාණ කරන අතරතුරේ ඔහු කාටූන් චිත්‍ර පුවත්පත්වලට යොමුකල අතර ඒවා එකින්එක ඉඳහිට පලවීම හේතුවෙන් ලොකු සතුටක් ලැබුවා. ඔහ යොමුකල ඉල්ලුම්පතක් අනුව වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක චිත්‍ර ශිල්පියෙක් ලෙස සේවයට ඔහු එක්වන්නේ මේ අතරතුරේදියි. එහිදී පුවත්පත් වෙළඳ දැන්වීම් කිහිපයක් සඳහා ඔහුව තෝරාගැණින. පාසල් කාලයෙන් පසු බර ඉසිලීම, කාය වර්ධන ව්‍යායාම තුලින් ඔහු මනාලෙස තම සිරුර ගොඩනගාගෙන තිබීම නිසැකවම මේ තෝරාගැනීමට හේතු වූවා විය හැකිය. 70 දශකයේදී ඔහුගේ කඩවසම් තාරුණ්‍යය සැබැවින්ම දැක ඇති මම ඊට සාක්ෂි දරන්නෙමි.

එහි සේවය කරනා කාලයේදීත් ඉඩ ඇති අවස්ථාවලදී ඔහු කාටුන් චිත්‍ර ඇඳ පුවත්පත් වලට දිගටම යොමු කලේය. ඒ වනවිට ජී. ඇස්. ප්‍රනාන්දු මහතා විසින් ප්‍රථමයෙන් නිර්මාණය කල ‘නීලා‘ චිත්‍රකතාවෙන් පසු සුසිල් ප්‍රේමරත්නගේ ‘රන් දූපත‘ ඇතුළු චිත්‍රකතා කිහිපයක් බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව තිබුනා. එමෙන්ම නවක චිත්‍ර ශිල්පීන් හැටියට පුරවිජය ෆොන්සේකා, තලන්ගම ජයසිංහ සහ බන්ධුල හරිශ්චන්ද්‍ර චිත්‍රකතා කරණයට එක්වී තිබුණු සමයයි. මේ සියල්ල තුළින් ලැබූ උත්තේජනය මත තමාගේම චිත්‍රකතාවක් පුවත්පතක පලවෙනවා දැකීම අනුරගේ එකම සිහිනය වුනා. ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී. එස්. ප්‍රනාන්දු මහතාව ඔහුට ළඟින් ඇසුරු කිරීමට ලැබෙන්නේ එම කාලය තුලදීය. අනුරට එතුමා ඇසුරේ දියසායම් සිතුවම් ඇඳීම වර්ධනය කර ගැනීමට හැකි විය. අනුරගේ දක්ෂකමට තැනක් හිමිවිය යුතුයැයි ජී. එස්. හට සිතුනි. ඔහු මුලින්ම සිතුවමට නැගූ ‘මෝහිනී’ නම් පිටු තුනක චිත්‍රකතාව ටයිම්ස් පුවත්පත් ආයතනය නිකුත්කල ‘රසවාහිනී’ සඟරාවේ ඒ වනවිට පලවී තිබුනා. එම ආයතනයේම ‘ලංකාදීප’ පුවත්පතේ එවකට කතෘත්වය දැරූ ඩී. බී. ධනපාල මහතා වෙත ජී. ඇස්. විසින් අනුරව යොමු කලේය. එම හමුවේදී ඔහුට පිටු භාගයක එක දිගට රසවත් ලෙස ඇදීයන චිත්‍ර කතාවක් ඇදගෙන එන ලෙස ධනපාලයන් පැවසීය. නිවසට පැමිණි පසු කුමන විදිහේ චිත්‍රකතාවක් අඳින්නේදැයි ඔහු කල්පනා කලේය.

එය වැසි වැටී ගංවතුර තත්වයක් පැවති කාලයකි. ගං වතුර සමයෙක දැදුරු ඔය පිටාර ගැලීම නිසාවෙන් වෙන්වෙන කොටි පැටවුන් දෙදෙනෙක් සහ මිනිස් ඇසුරේ හැදී වැඩෙන ඉන් එක් කොටි පැටවෙකු පිළිබඳව අදහසක් ඔහුගේ සිතෙහි පහලවිය. ‘සේන‘ නම් තරුණයෙකු සහ තවත් චරිත කිහිපයක් ඔහු ඊට එකතු කර අපූරු කතාවක් ගොඩනගන්නට සමත්වුණා. ඔහු අතින් ‘පුල්ලි සහ සේන’ චිත්‍රකතාව සිතුවමට නැගෙන්නේ මෙලෙසිනි. පසුව ඉතාමත් කඩිනමින් මෙහි කොටස් කිහිපයක් ඇඳ ඔහු ධනපාල මහතා මුණගැසෙනවා. අනුරගේ සිතුවම් ගැන පැහැදුණු ධනපාල මහතා ‘වනිතා විත්ති’ පුවත්පතේ පිටු භාගයක් අනුරගේ චිත්‍රකතාව සඳහා වෙන්කරනවා. එම චිත්‍රකතාව පලවූ පිටුවේ ඉහළින් තමා බෙහෙවින්ම ගරුකරන ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්නයන්ගේ කතාවක් තිබීම අනුර හට මහත් ආඩම්බරයක් වූ බව අතීතය සිහිපත් කරමින් මා සමග පැවසිය. ‘පුල්ලි සහ සේන’ චිත්‍රකතාව පාඨකයන් අතරේ බෙහෙවින්ම ජනප්‍රිය වුනා. එම අවදියේ පුවත්පත්වල ජනප්‍රියවූ චිත්‍රකතා පොත් ලෙස නිකුත් වන ප්‍රවනතාවයක් පැවතින. එහි ප්‍රතිඵලයක් හැටියට ‘පුල්ලි සහ සේන‘ චිත්‍රකතාව ‘වනගත කොල්ලා් යන නමින් නිකුත් කෙරින. එම පොතේ පිටකවරය සඳහා එවකට ප්‍රදර්ශනය වුනු ‘සුදු සුදා‘ ච්ත්‍රපටයේ ‘රොබට් මැක්ලවුඩ් සහ පද්මා සිරිවර්ධන’ ගේ රූප රාමුවක් වර්ණ ගන්වා තිබූ අයුරු තවම මගේ සිතේ පවතී. එය අනුරගේ අවසරයකින් තොරව සිදුකෙරුනකි.
ඉන්පසු ගෙවුණු කාලයේ ඔහු ඇඩ්වටයිසින් ආයතන කිහිපයක සේවයේ නියුතු විය. ඒ අතරවාරයේ ‘වීර කැප්පෙටිපොළ‘ ‘හර්කියුලිස්‘ සහ සෝමපාල රණතුංගගේ නවකතාවක් ඇසුරෙන් ‘ශෛල කල්‍යාණී‘ සිතුවමට නැගීය. ‘හර්කියුලිස්’ සිතුවමට නැගීමට ‘ස්ටීව් රිව්ස්’ රඟපෑමෙන් එක්වූ එම ච්ත්‍රපටය ඔහු සිනමා ශාලාවේ කිහිපවාරයක් නැරඹූ බව වරෙක ප්‍රකාශ කලා.
ඔහු ලේක්හවුස් ආයතනයේ ‘සිළුමිණ’ පුවත්පතට ඉතාමත් අගනා චිත්‍රකතා කිහිපයක්ම නිර්මාණය කරන්නට යෙදුනා. අප ඉතාමත් ආසාවෙන් කියැවූ ‘අන්ධකාර රාත්‍රිය’, ‘කුදාගේ ආලය’, (‘වික්ටර් හියුගෝ ලියූ නවකතාවක් සහ එම නවකතාව ඇසුරෙන් කල ච්ත්‍රපටය ඇසුරෙන්), ‘රොබින් හුඩ්’, බැසිල් මිහිරිපැන්නගේ මුද්‍රා නාට්‍ය ඇසුරෙන් කල ‘සෙබළිය’ ඒ අතර වෙනවා.
1972 වසරේ අගෝස්තු මස 29 වනදා ලේක්හවුස් ආයතනය ‘සතුට’ නමින් සම්පූර්ණයෙන් චිත්‍රකතා අඩංගු පුවත්පතක ආරම්භය සනිටුහන් කලා. මෙම ආරම්භය සහ නවමු අදහසට අනුර විජේවර්ධනයන් සම්බන්ධ වූ අයෙකි. එහි අකුරු සැලැස්ම සහ ප්‍රථම පුවත්පතේ කවරය නිර්මාණය කලේ ද ඔහු විසිනි. ඔහු සිතුවමට නැගූ ‘ආදර කතර’, ‘අළු යට ගිනි’ යන ජනප්‍රිය චිත්‍රකතා මට මෙහිදී සිහිපත් වෙනවා. ඔහු ‘සතුට’ පුවත්පත වෙනුවෙන් සිතුවමට නැගූ ‘මේඝ’ ච්ත්‍රකතාව ඔහුව ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම රැගෙන ගියා. එම චිත්‍රකතාව තුලින් ශ්‍රී ලාංකීය මුහුණුවරක් ගත් ‘ටාසන්‘ වැනි චරිතයක් ඔහු අප හමුවට ගෙන ආවා. ඉන් අනතුරුව ‘මිස්ටර් ෂෝක්‘, ‘කේසර‘ ‘කැලෑ කෙල්ල‘ වැනි ජනප්‍රිය චිත්‍රකතා ඔහු සිතුවමට නැගීය. මේ අතුරෙන් ‘කැලෑ කෙල්ල‘ චිත්‍රකතාව සිනමාවට නැගිණ. නිළි රැජින මාලනී ෆොන්සේකා සහ රවීන්ද්‍ර රන්දෙණිය එහි ප්‍රධාන භූමිකාවන් රඟ දැක්වීය
.
‘සිළුමිණ’, ‘දිනමිණ’, ‘මිහිර’, ‘නවයුගය’, ‘මධුර’ යන පුවත්පත්වලට ඔහු චිත්‍රකතා රාශියක් සිතුවමට නැගුවේය. එය 200 කට අධික වේ.

ජාතික චිත්‍රකතා පදනම පිහිටුවා ගැනීමෙන් පසුව පැවැත්වූ ‘සිත්තරු රාත්‍රිය’ උළෙලදී චිත්‍රකතාව වෙනුවෙන් වටිනා මෙහෙවරක් ඉටුකල ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් 10 දෙනෙකුට සම්මාන පිරිනමන ලදී. අනුර විජේවර්ධන චිත්‍ර ශිල්පියාද ඒ අතර විය. එම පදනම මගින් ජනප්‍රිය චිත්‍රකතා 10 ක් එළි දක්වද්දී ඔහුගේ ‘අළු යට ගිනි‘ චිත්‍රකතාව ද ඊට අයත්විය. සමස්ත ලංකා චිත්‍රකලා වෘත්තිකයන්ගේ සංගමය, සෝලියස් මැන්දිස් චිත්‍රකලා පදනම, ජගත් චන්ද්‍රරත්න ප්‍රජා සංවර්ධන පදනම එක්ව මහනුවරදී පැවැත්වූ සම්මාන උළෙලේදී අනුර විජේවර්ධන යන් සිදුකලාවූ මෙහෙවර සඳහා සම්මානයට පාත්‍රවිය. මීට අමතරව කැළණිය ප්‍රදේශයෙන් බිහිවූ විශිෂ්ඨ කලාකරුවන් අගයන අවස්ථාවක ඔහුද සම්මානයෙන් පිදුම් ලැබුවේය.

පාසල් කාලය තුලදී ගොඩ නැගුනු ප්‍රේම සම්බන්ධතාවයක් අනුව ඔහු විවාහ දිවියට ඇතුලත් විය. ඔවුන්ගේ කැදැල්ලට පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනෙකු එක්වන්නේ ඉන් පසුවයි. මෙයට වසර කිහිපයකට පෙර ඔහුගේ බිරිඳ ජීවිතයෙන් සමුගත්තා.

ඔහුගේ බාල පුතු චරිත්ගේ පුතනුවන් හට තැබුවේ ‘මේඝ‘ යන නමයි. ඒ නම ඔහුගේ දිවියට ආලෝකයක් වූවා. ඒ නම වගේම ඔහුත් වෙනස් දරුවෙක් විය. වර්තමානයේ ‘නාසා‘ ආයතනයේ ඔහු ඉහළම තනතුරක් දරයි. තම මුණුපුරා මෙසේ කීර්තිමත් පුද්ගලයෙකු වීම අනුර හට මහත් සතුටක් ගෙනදෙන කාරණාවකි. සැබැවින්ම ‘මේඝ‘ පුතනුවන් අපේ මව්බිමට ආඩම්බරයකි.
‘සිත්තර‘ පුවත්පත නිසා මෙම ප්‍රවීණ චිත්‍ර ශිල්පියා සමග එකට චිත්‍රකතා නිර්මාණය කිරීමේ අවස්ථාව මට උදාවුනා. එම කාලය ඇතුලතදී ඔහුව ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරන්නට ලැබුනා. බොහෝවිට චිත්‍රකතා භාර දෙන්න අපි ගියේ එකට. ඔහුගේ මෝටර් සයිකලේ පිටුපස හිඳ කතා කරමින් ගිය කාලය හරිම සුන්දරයි. ඔහු තුල සහෝදරයෙක් සහ හොඳ මිතුරෙක් යන දෙදෙනාම සිටිනවා. වර්තමානයේ ඔහුගේ කාලය වැඩි වශයෙන් වෙන් වන්නේ නිවසට වී ඇක්‍රලික් භාවිතයෙන් සිතුවම් නිර්මාණය කිරීමටයි.

දයාබර ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන මහතාට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම හිමිවේවා. දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.!!!

ජානක ඉලුක්කුඹුර

ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධනයන්ට “ලංකාකොමික්ස් ” වෙතින් සුභ පැතුම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: