ජානක ඉලුක්කුඹුර

චිත්‍රකතා ලොවේ “රිදී ඉර” ජානක ඉලුක්කුඹුර….

චිත්‍රකතා ලොවේ “රිදී ඉර” ජානක ඉලුක්කුඹුර….

1976 දී “ඥාණාර්ථ ප්‍රදීපය” සඟරාවේ, ළමා ප්‍රදීපය සඟරාවට ළමා චිත්‍ර, කෙටි කතා සහ ප්‍රහේළිකා ඉදිරිපත් කරමින් , අනතුරුව ‘කලා සඟරාව’ ට චිත්‍රකතාවක් ද අඳිමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු ප්‍රවීණ චිත්‍රකතා නිර්මාණ ශිල්පී ජානක ඉලුක්කුඹුර නම් වේ.
ඔහුගේ චිත්‍ර දිවිය ආරම්භය වු හැටේ දශකයේ අග භාගය සොඳුරු කාල පරිච්ඡේදයක් බව ජානක සඳහන් කරයි. දක්ෂ චිත්‍ර ශිල්පීන් තිදෙනෙකු වූ සොයුරන් අතරින් නිශ්ශංක හා අශෝකා නම් වූ දෙටු සොයුරන් චිත්‍ර කතා සහ කාටූන් ඇඳීමටත්, දැන්වීම් බැනර් ආදිය නිර්මාණය කිරීමටත් උපන් හපනුන් විය. ඔවුන්ගේ කලා කටයුතු ඇසුරේ හැදුනු වැඩුණු ජානකට සිය අත පැන්සලට, පෑනට හුරු වුයේ නිරායාසයෙන්මය. එසේ පැන්සලට, පින්සලට සිය අත හුරු කළ කලා දිවියට ගුරුවරුන් බඳු වු සිය දෙටු සොහොයුරන් ජානක අදත් සිහිපත් කරන්නේ හද පිරි බැතියෙන් යුතුවය.
සිය සොහොයුරන් එවකට සති අන්ත පුවත්පත් වල පළ වූ චිත්‍රකතා සහ පොත් වශයෙන් වෙළඳ පොළට ආ චිත්‍රකතා පොත් නිවසට ගෙන ඒමෙන් පසු ඒවා බැලීමෙන් ජානක දැඩි චිත්‍ර කතා ලෝලියකු බවට පත්ව ඇති බව කීවොත් නිවැරදිය. ඒ අතරින් ප්‍රවීණ චිත්‍රකතා ශිල්පීන් වූ ජී. එස්. ප්‍රනාන්දුගේ සහ සුසිල් ප්‍රේමරත්නයන් ගේ චිත්‍රකතා වඩාත් සිත් ගත් බව ඔහු සඳහන් කරයි. ඉන්පසු චිත්‍රකතා පුවත්පත් ලෙස පැමිණි ‘සතුට‘, ‘සිනෙත්‍ර’, ‘සිත්තර‘ වැනි චිත්‍රකතා පුවත්පත් තුළින් බිහිවූ තවත් චිත්‍ර කතා ශිල්පීන් ඔහුගේ වීරයන් බවට පත් වී තිබේ.
මේ කාලයේදී චිත්‍රකතා පුවත්පතක චිත්‍රකතාවක් පළ කර ගැනීමට ඔහු නොගත් උත්සාහයක් නැති තරම්ය. ඉන් අනතුරුව මේ සියල්ල හැර දමා දැන්වීම් ප්‍රචාරක ආයතනයක වෙළඳ චිත්‍ර ශිල්පියකු ලෙස සේවයට එක් විය. නොසිතූ මොහොතක නොසිතූ අයුරින් ඒ සිහිනය සැබෑ වී ඇත්තේ ඉරිදා පුවත්පතක පළවූ දැන්වීමක නව චිත්‍රකතා පත්‍රයක් ආරම්භ කරන පුවත දැකීමෙනි. මරදානේ ගුණරත්න සමාගම මගින් පළ කර තිබූ එම දැන්වීමට අනුව මරදානේ ජයන්ත වීරසේකර මාවතේ ගුණරත්න සමාගම විසින් එළි දැක්වූ ‘සිතුවම්’ චිත්‍රකතා පත්‍රයේ චිත්‍රකතා දෙකක් ඇඳීම තුළින් සිය අභිලාෂය ඉටුකරගැනීමට ජානක සමත් විය. මෙහිදී සිය හැකියාවන්ට අතහිත දුන්, ප්‍රවීණ චිත්‍රශිල්පී ජයසේන කොළඹගේ සහ ගුණරත්න සමාගමේ දයා ගුණරත්න යන මහත්වරුන් ඔහු අද ද සිහිපත් කරනුයේ කෘතගුණ පුර්වකවය.
එසේ 1978 වසරේ ‘සිතුවම්’ චිත්‍රකතා පත්‍රයට සම්බන්ධ වන ජානක, පසුව ‘සිතුවම්’ චිත්‍රකතා පත්‍රය, ‘සිතුවම’, ‘දසුන’ බවට පත් වෙද්දී එහි චිත්‍රකතා රාශියක් චිත්‍රයට නගා ඇත. ඒවා අතරින් ‘අනිත් ටිකත් කියන්නකෝ’, ‘ඔබ මට වාසනා’, ‘පෙන බුබුළු’, ‘නිරංජලා’, ‘රිදී ඉරක්’, ‘ගිනි පුපුරක්’, ‘හිම කුමාරි’ වඩාත් ජනප්‍රිය විය. ඉන් අනතුරුව ‘රාජා රාණි’, ‘දැනී උණුසුම ආදරේ’ වැනි චිත්‍රකතා ද නිර්මාණය කර ඇත.
නැවතත් ‘සිත්තර’ පුවත්පතට සම්බන්ධව ‘අංජලී’, ‘ඇය’, ‘ග්‍රීස් යකා’, ‘ආදරණීය රෝසි’, ‘රියල් පොලිස්’, ‘ඡායා’, ‘රේල් පීලි’, ‘පාතාල දඩයම’,‘එක් සොඳුරු යුවතියක්’ ආදී චිත්‍රකතා රාශියක් ඔහු අතින් නිර්මාණය විය. “සිතුවම්” චිත්‍රකතා පුවත්පතෙන් චිත්‍රකතා ලොවට පිවිසි ජානක, ‘දිනමිණ’, සිතුවම’, ‘දසුන’, ‘හිතවත’,‘වරුණ’, ‘සත් වරුණ’‘චිත්‍රකතා’, ‘මවිත’, ‘සක්විති’, ‘සිත්තරු’ ආදී චිත්‍රකතා පත්‍ර වලට චිත්‍රකතා රාශියක් නිර්මාණය කර ඇත. චිත්‍රකතා ප්‍රකාශන වල අවසානය දක්වා චිත්‍රකතා රාශියක් නිර්මාණය කිරීමෙන් අනතුරුව විවිධ හේතූන් මත කළකිරීමෙන් සිටි ඔහු නැවතත් වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක සේවයට එක් වී ඇත. කෙසේ නමුත් ‘සිත්තර’ පුවත්පතේ අවසානය තෙක් එහි රැඳී සිටි ඔහුගේ චිත්‍රකතා දිවියට තිස් වසරක් පිරී ඇති බව සඳහන් කරන්නේ සතුටිනි.
තිස්වසරක කාලයක් පුරා චිත්‍රකතා ඇඳීමේ නිරතව සිටි ඉන් ඉවත්වුවද තමන්ගේ චිත්‍රකතා දිවියේදී හමුවූ ප්‍රවීණ චිත්‍රකතා ශිල්පීන් ඔහු කෘතවේදීව සිහිපත් කරයි. එදා මෙදාතුර ඔහු වටා සිටින ඔහුගේ චිත්‍රකතා ලෝලීන් ද ඔහු සිහිපත් කරන්නේ හද පිරි සෙනෙහසින් බව ජානක පැවසීය.
රාගම සිය නිවසේ විවේකී සුවයෙන් සිටින ජානකගේ දිවියට “ලංකා කොමික්ස්”වෙතින් සුබ පැතුම්.
එමෙන්ම ජානක ඉලුක්කුඹුර සිතුවම් කල අනුර ශ්‍රීනාත් ලියූ ‘කියාගන්න බැරිවූ කතාවක්’ ලංකාකොමික්ස් වෙබ් අඩවියේ පළකිරීමට අවසරය ලබාදීම පිළිබඳවද ඔවුන් දෙපළටම ස්තූතිවන්තවෙමු.
-එල්බියස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: