ටෝරස් ගෙනා ඇන්ටන් බී. පෙරේරා

1975 වසරේ බිහි වූ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සහ විශාලතම අලෙවි වාර්තා තැබු “සිත්තර” චිත්‍රකතා පත්‍රයේ සමාරම්භක චිත්‍ර ශිල්පියකු ලෙස ‘ටෝරස්’ චිත්‍ර කතාව නිර්මාණය කරමින් චිත්‍ර කතා ලොවට පිවිසෙන කේ. ඒ. එච්. ඇන්ටන් බර්ට්‍රම් පෙරේරා, ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පි කැමිලස් පෙරේරා අතින් ඇන්ටන් බී. පෙරේරා යන පෑනේ නමින් බෞතීස්ම විය. ‘ඇන්ටන්… ඔයා බටහිර ශෛලියේ චිත්‍රකතාවලින් ඉදිරියට යන්න. ලංකාවේ චිත්‍ර කතා ලෝලීන් අතර ඔයා කවදාහරි නොමැකෙන නමක් ඇති චිත්‍ර ශිල්පියෙක් බවට පත් වේවි’ යයි එදා කැමිලස් පෙරේරා මහතා ඔහුට කී දේ අද සැබෑවක් බවට පත් වී තිබේ. ඒ පිළිබඳව ඇන්ටන් බී පෙරේරා පවසන්නේ මෙවන් අදහසකි. “එතුමාට මගේ ප්‍රණාමය සහ ගරුත්වය සැමදා පුද කරමි. එතුමා එදා මට අත හිත නොදුන්නා නම් අද ඇන්ටන් බී. පෙරේරා නම් චිත්‍ර ශිල්පියා මෙරට බිහි නොවනු ඇත”

එදා “සිත්තර” පත්‍රයේ චිත්‍ර ශිල්පී පරීක්ෂණ මෙහෙයවා ඇත්තේ ප්‍රවීණ කාටූන් ශිල්පි කැමිලස් පෙරේරා මහතා, පුවත්පත් කලාවේදී චින්තන ජයසේන මහතා සහ පිටු සැලසුම් ශිල්පි සහ අකුරු නිර්මාණ ශිල්පි ලෙස කටයුතු කළ මහින්ද හේවගේ මහතා විසිනි. ඔහුගේ චිත්‍ර හොඳින් පරීක්ෂා කළ කැමිලස් පෙරේරා මහතා සෑහීමකට පත්ව ඇන්ටන් අමතා බටහිර පන්නයේ වීර කතාවක් සිතුවමට නැගිය හැකිදැයි විමසා ඇත. ඒ අභියෝගය භාර ගත් ඔහුට මුල් කොටස කටු සටහනක් ලෙස පැන්සලෙන් පමණක් ඇඳ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිපත් කිරීමට සතියක කාලයක් ද ලබා දී ඇත. නිවසට පැමිණි ඔහුට මෙම කාර්්‍යයයේ බරපතලකම ක්‍රමයෙන් අවබෝධ විය. මෙහිදී ඔහුගේ පිහිටට ඉදිරිපත් වී ඇත්තේ සිය කුළුපග මිතුරකුගේ නැන්දණියකි. ඇල්පිටියේ විසූ ඇය නම් මැටිල්ඩා විමාන මහත්මියයි. ඇය ‘ඔරිසන් පාලන්තෙන්’” කතාව ඔහුට කියා දී ඇත. එය චිත්‍රකතාවක් ලෙස ඉදිරිපත් කළහොත් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වනු ඇති බවද පැවසූ අයුරු ඔහු දැනුදු සිහිපත් කරයි. ලංකාවේ මෙතෙක් ඉහළම වාර්තා තැබූ “සිත්තර” චිත්‍රකතා පත්‍රයේ පිටු අතරට “ටෝරස්” පැමිණියේ එලෙසිනි.

ඉන්පසුව ‘ස්කෝපියෝ’,‘කුළු හරක්’, ‘විස්කි වීදුරුව’ වැනි පාඨක ප්‍රසාදය දිනා ගත් චිත්‍ර කතා නිර්මාණය කළේය. එම ආයතනයේම ප්‍රකාශයට පත් වූ ‘සුහද’, ‘ස්වර්ණ’ චිත්‍රකතා තුළින් ‘ස්කෝපියෝ’, ‘රන් කුරුමිණියෝ’, ‘සැනෙළි’, ‘සෙන්ඩාහි සිරකරුවා’ යන අතිශය ජනප්‍රිය චිත්‍රකතා පාඨකයින් වෙත ගෙන ඒමට ඔහු සමත් විය. ‘සිත්තර’ ආරම්භ වී වසර පහකට පසු ‘උපාලි විජේවර්ධන’ මහතාගේ ඇරයුම මත ‘උපාලි පුවත්පත් සමාගමේ පළමු ප්‍රකාශනය ලෙස එළි දැක්වූ “චිත්‍රමිත්‍ර” පත්‍රයේ ජ්‍යෙෂ්ට චිත්‍ර ශිල්පියකු ලෙස සම්බන්ධ වන ඔහු ‘තිලිණ දඩයම’, ‘කළු මෝරා’, ‘මදාරා මලක්’, ‘දාසය වෙනි පැය’, ‘ලුහු බැඳීම’, ‘මහාඛාන්ගේ ශාපය’ යන චිත්‍රකතා තුළින් චිත්‍ර කතා පාඨකයන්ට නැතිවම බැරි චිත්‍ර කතා ශිල්පියකු බවට පත් විය.

ඉන්පසුව ‘දසුන’ චිත්‍රකතා පත්‍රය තුළින් චිත්‍රකතා ලෝලීන්ට කිසිදිනෙක අමතක නොවන ‘වියරු ආත්මය’, ‘කැරවෑන් 404’, ‘අයාමා’, ‘ලුසිෆර්ගේ දඩබිම’, වැනි අති වේගවත් ශෛලියේ චිත්‍රකතා නිර්මාණය කරමින් ලංකාවේ චිත්‍ර කතා පාඨකයින් හට නවමු අත්දැකීමක් ගෙන ඒමට ද ඔහු සමත් විය.

මිතුරන් කිහිප දෙනකු සමග එක්ව ඇාරම්භකරන ලද ‘මල්සර’ චිත්‍රකතා පත්‍රය තුළින් ගෙනා ‘කළු දිවයින’, ‘ග්ලෝ’ යන චිත්‍රකතා ද්විත්වය ද චිත්‍රකතා ලෝලීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය.

‘හිතවත’ චිත්‍රකතා පත්‍රය තුළින් පාඨකයින් අතරට පැමිණි ඇන්ටන් වෙනස් මගක් ගනිමින් ආත්මාරක්ෂක සටන් කලාව හා සබැඳුනු වඩාත් ජනප්‍රියත්වයට පත් ‘මකරා’ චිත්‍රකතාව නිර්මාණය කරමින් පාඨක සිත් සතන් තුළ තම නම රැඳවීමට සමත් වූ අතර, ඊට අමතරව ‘වියරුව’, ‘පළිගැනීම’, ‘නීතියට විරාමයක්’, ‘කම්පනය’, ‘දිනපොතක කතාවක්’, ‘මරණය සොයා ගිය ගමනක්’ සහ ‘නීතිය ප්‍රමාදයි’ යන තවත් බොහෝ ත්‍රාසජනක කතා ඉදිරිපත් කළේය. ඔහු නිර්මාණය තළ ‘නින්ජා’, ‘අදිසි ඝාතකයා’, ‘ඩින්කි’, ‘සාතන්ගේ දූපත’, එක්ස් 19’, ‘වයිකන්’, ‘ක්‍රිස්කන් වීරයෝ’, ‘අසුර අඩවිය’ යන ත්‍රාසජනක චිත්‍රකතා පාඨක අභිරුචිය වඩාත් දිනා ගැනීමේ නිර්මාණ බවට පත් විය.

ඔහුගේ ප්‍රථම චිත්‍රකතා පොත වූ ‘ආත්මයට වන්දියක්” සමග මේ වනවිට ‘සාතන්ගේ දූපත’, ‘ලුසිෆර්ගේ දඩබිම’, ‘ඇඟිලි සළකුණ’, ‘කැරවන් 404’ චිත්‍රකතා පොත් ලෙස එලි දක්වා ඇත. සිය චිත්‍රකතා පොත් ලෙස ප්‍රකාශයට පත්කරන ’නිමංසා ප්‍රකාශන’ අධීපති වසන්ත පරණවිතාන මහතාවද සිහිපත් කළේය.

ඔහුගේ ප්‍රිය බිරිඳ වන රෝඩා සිල්වා විශ්‍රාමික ගුරුවරියකි. දියණියක සහ පුතෙකු ලද නමුදු කුඩා අවධියේදීම දියණියගේ අහිමි වීම ඔහු අද ද සිහිපත් කරන්නේ මහත් සිත් වේදනාවෙනි. ඔහුගේ පුතු වන කසුන් පුලස්ති ඔවුන් දෙපළගේ ලෝකයම වන අතර, කසුන් පුතුගේ ආදරණීය බිරිඳ කල්පනී, පුවත්පත් වල ඔහු පිළිබඳව පළ වන ලිපි එකතු කර ඇල්බමයක් සාදා ඇති බවත් කල්පනී තමාගේත් බිරිඳගේත් දියණිය වන බවත් ඔහු මහත් සෙනෙහසින් සිහිපත් කරයි. මිණිබිරිය අයිෂා ඔවුන් සියලු දෙනාගේ ලෝකය වර්ණවත් කරන බවද ඔහු පවසන්නේ හද පිරි සතුටින් යුතුවය.

මේ වනවිට පුරා හතළිස් හය වසරක් ජ්‍යෙෂ්ඨ වෘත්තීය චිත්‍ර ශිල්පියකු ලෙස ශ්‍රී ලංකා චිත්‍ර කතා ක්ෂේත්‍රයේ ජනප්‍රිය හා අද්විතීය නමක් දිනාගෙන ඇති ඔහු විසින් ශ්‍රීලාංකේය චිත්‍ර කතාවට ලබා දුන් ජවය සහ නිමාව සුවිසල් බව මෙහි සටහන් කළ යුතුව ඇත. ඇන්ටන් බී. පෙරේරා නම් වූ ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පියාට “ලංකා කොමික්ස්” වෙතින් සුබ පැතුම්.

එල්බියස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: