ඉතිහාසයට කතා කරන චිත්‍රකතා ශිල්පී ටිඩී අබේසූරිය

ඉතිහාසයට කතා කරන චිත්‍රකතා ශිල්පී ටිඩී අබේසූරිය

ටිඩී. අබේසූරිය කියන චිත්‍රකතා ශිල්පියා අපට අමතක නොවන චරිතයක්. ඒකට හේතුව තමයි අපේ ඉතිහාසය ගැන කතා කරන චිත්‍රකතා ශිල්පීන් අතර සිටින තවත් එක් ප්‍රමුඛ චිත්‍රකතා ශිල්පියෙක් තමයි ටී. ඩී. අබේසූරිය. දකුණු ලක අම්බලන්තොටට නුදුරු වැලිපටන්විල කියන ගමේන් චිත්‍රකතා ලොවට අවතීර්ණ වුණ ටී.ඩී. අබේසූරිය නම් ප්‍රවීණ චිත්‍රකතා ශිල්පියා සොයාගන කොට්ටාව, මහල්වරාව පාරෙ ඔහුගේ නිවසට ගිය ගමනත්, ඔහුගේ සුහද පිළිගැනීමත් එක්ක එතුමාගේ ජීවන තොරතුරු අද ලංකාකොමික්ස් තුළින් ඔබ හමුවට….

ඔබතුමාගේ පාසල් දිවිය ඇරඹෙන්නෙ කොහොමද….
මගේ ගම වැලිපටන්විල. වැලිපටන්විල විද්‍යාලයට තමයි මම මුලින්ම පාසල් ගියේ. ඊට පස්සෙ හුංගම විද්‍යාලයට, ඊට පස්සෙ නාරම්මල ප්‍රාථමික විද්‍යාලයේත්, මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේත් අධ්‍යාපනය හැදෑරුවා.

එතකොට චිත්‍රශිල්පය ඉගෙන ගත්තෙ කොහොමද…
චිත්‍ර අදින හැකියාව මට පුංචිකාලෙ ඉදන්ම තිබුනා. පුංචි කාලෙ සුසිල් ප්‍රෙමරත්න මහත්මයාගේ චිත්‍රකතා තමයි වැඩිපුරම බලන්න ආසා වුණේ. ලංදේසි හටන වගේ අපේ වීර කතා කියවන්න පුදුම ආසාවක් තිබුනා.

පත්තර වලට චිත්‍රඅදින්න පුරුදු වුණේ කොහොමද…
පාසල් යන කාලෙදිම මම හදමාමා කියන ළමා පත්තරයට චිත්‍රකතාවක් නිර්මාණය කළා. එතනින් තමයි චිත්‍රකතා අදින්න පෙළඹුනේ.

එතකොට ඔබතුමා රැකියාවක් විදියට චිත්‍රකතාකරුවෙක් වෙන්න හිතුවද…
නැහැ චිත්‍රකතා අදිමින් සිටියදීම තමයි මට රජයේ බැංකුවක රැකියාවක් ලැබුනේ.

ඉතින් චිත්‍රකතාවෙන් සමුගන්න සිදුවුණේ නැහැ..
ඔව්නේ… එතකොට චිත්‍රකතා අදින කලා කරුවො සේරම කොළඹට එක්තැන් වෙමින් සිටි කාලයත්. කොහොම හරි මටත් බැංකුවෙ රැකියාව නිසා කොළඹට එන්න සිදුවීමත් වාසනාවක් වුණා.

බැංකු‍වෙ රැකියාව කරන අතරතුරේදි චිත්‍රකතා අදින්න කාලය සොයාගත්තෙ කොහොමද..
ඒ කාලෙ මම බෝඩිමක නැවතිල හිටියේ බෝඩිමේදී රාත්‍රි‍යෙදි තමයි චිත්‍රකතා අදින්නෙ.. බැංකුවේම සේවය කරපු සුනිල් පෙරේරා කියන මහත්මය මාව ලේක්හවුස් ආයතනයේ ‘සතුට’ පත්තරේට මාව යොමුකලා. 1980 කාලෙදි තමයි ‘සතුට’ පත්තරේට චිත්‍රකතා අදින්න යොමුවුණේ. ‘සතුට’ පත්තරේට මම ඇන්දෙ ‘බැද්දෙ හදක්’ කියන චිත්‍රකතාව.

ඊට පස්සෙ…
ඊට පස්සේ විජය පුවත්පත් සමාගමට සම්බන්ධවුණා. නැවත එහි ආරම්භකල ‘සතුට’ පත්තරේට දිගටම චිත්‍රකතා ඇන්දා. ‘සමධරා’, ‘රත්නාවලී’, ‘චන්දි’, ‘මුතු ගිලිහුණ මාල පොටක්’, ‘අංජලී’ කියන චිත්‍රකතා.

ඒ අතරෙදි ඔබතුමා අලුත් චිත්‍රකතා පත්තර වලටත් සම්බන්ධ වුණා.
ඔව්.. ‘හිතවත’ පත්තරයට ‘සුගන්ධිකා’, ‘පෑළ දොර’, රසික පත්තරේට ‘කුරහං මල්’, ‘සක්විති’ පත්තරේට ‘හෙල්ල’, ‘ප්‍රාර්ථනා’ පත්තරේට ‘ රත්නාවලී’ කතාව, ‘ත්‍රාස’ පත්තරේටත් ‘නපුරු කුමාරි’ චිත්‍රකතාවත් ඇන්දා.

ඔබතුමා වාරිකර්මාන්ත, ජල සංරක්ෂණය ගැනත් නිර්මාණ කරල තියනව නේද.
ඔව්… අපේ යටගියාව ගැන පොත් පෙළත් එළිදැක්වීමට කටයුතු කළා රූපා සපරමාදු මහත්මියගේ පොත් පෙළක් සදහා. එයින් ‘පණ්ඩුකාභය’, ‘දේවානම්පියතිස්ස’, ‘වසභ’, ‘පුරාණ ලංකාවෙ වාරිකර්මාන්තය’ සහ ‘ජල සංරක්ෂණය’ සදහා චිත්‍ර නිර්මාණය කළා.

ඔබතුමා වැඩි පුරම නිර්මාණය කරල තියෙන්නේ ඓතිහාසික චිත්‍රකතා නේද..
ඔව් මගේ අතින් වැඩිපුරම නිර්මාණය වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය ගැන කියන චිත්‍රකතා. දැනටත් විජය ළමා පත්තරේට අදින චිත්‍රකතාවත් එවැන්නක්. ඒත් ඓතිහාසික නොවන චිත්‍රකතාත් මගේ ඇතින් නිර්මාණය වෙලා තියනව. ඒ ‘චන්දි’, ‘මුතු ගිලිහුණ මාල පොටක්’, ‘කුරහං මල්’ වගේ චිත්‍රකතා.

ඉතින් ඔබතුමාගේ පවුලේ තොරතුරු…
මගේ බිරිදත්, දියණියත් සමග සතුටින් අපි සිටිනවා.

බැංකු සේවයෙන් විශ්‍රාම අරගන ඒත් ඔබ පින්සලට සමුදීල නැහැ.
මේක මම ආසාවෙන් කරන්නෙ. අදටත් මම අපේ දරුවන් වෙනුවෙන් විජය පත්තරේට චිත්‍රකතාවක් නිර්මාණය කරනව.
ඒ කතාව නිර්මාණය කරන්නට මට උපරිම සහය දෙන විජය පුවත්පත් සමාගමත්, විජය කර්තෘ තුමාත් සිහිපත් කරනව.

පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද…
ලංකාව පුරාම මගේ ඓතිහාසික චිත්‍රකතාවලට ආදරය කරන ගරු කරන විශාල පාඨක පිරිසක් ඉන්නව. ඒ සෑමකෙනෙක්ම මම ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි.

1980 සිටම චිත්‍රකතා ශිල්පියකු ලෙසත්, රාජ්‍ය බැංකු නිළධාරියකු ලෙසත් සේවය කරමින් තම සේවය උපරිම ලෙසම ලබාදුන් ටිඩී අබේසූරිය මහතා බැංකු සේව‍සේවයෙන් විශ්‍රාම ගෙන දැනටද විජය ළමා පුවත්පත කියවන දරුවන් වෙනුවෙන් ඇප කැපවී කරන සේවය ඉතාම අගනේය. සතියේ දින හතම එතුමා අවිවේකයෙනි. විජය පත්තරේ චිත්‍රකතාව අදින්න වගේම එම චිත්‍රකතාව වර්ණ ගැන්වීමද සිදුකරන්නේ ටිඩී මහතා අතිනි. කරන දේ හරියට කරන ටිඩී මහතාගේ වටිනා කාලයෙන් බිදක් ‘ලංකාකොමික්ස්’ වෙබ් අඩවිය වෙනුවෙන් වැය කිරීම පිළිබදව නැවතත් එතුමාට ‘ලංකාකොමික්ස්’ අපගේ තුති. අපේ ඓතිහාසික චිත්‍රකතා තුළින් අපට තවත් වටිනා දෑ ලබාදෙන්නට එතුමාට අවශ්‍ය ශක්තිය ලැබේවා. ‘ලංකාකොමිකිස්’ අපගේ පැතුමයි.

-එල්බියස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: