‘ශ්‍රී ලංකාදීප’ යට වීර කතා ගෙනා සුමින්ද

ටයිම්ස් ආයතනයෙන් නිකුත් වූ ‘ශ්‍රී ලංකාදීප’ පත්‍රයේ වීර කතා අඳින චිත්‍ර ශිල්පියකුගේ චිත්‍රකතා වක් මගේ නෙත ගැටුනේ 70 දශකයේදීය. එය ටයිම්ස් ආයතනයෙන් නිකුත් වූ ‘ශ්‍රී ලංකාදීප’ පත්‍රයේ පළවූ ‘කර්ණ’ චිත්‍රකතාවයි. එදා සුමින්ද දිසානායක නම් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද ‘කර්ණ’ මගේ සිත් ගත් චිත්‍රකතාවක් වූ අතර පසුකාලීනව වීර චිත්‍ර කතාවලට ලොබ බඳින්නට ද, පාසල් වියේදී චිත්‍රකතා නිර්මාණය කරන්නට මා මුලික වූයේ එයයි. එම නිසාම සුමින්ද දිසානායකයන් මගේ මතකයෙන් කිසිදා ඈත් නොවන ශිල්පියෙක් බවට පත්විය.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ මහානාම දිසානායකයන්ගේ පුත්‍රයෙක් වන සුමින්ද දිසානායක මූලික අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි. පාසල් දිවියෙන් සමුගැනීමේන් අනතුරුව ඔහු වර්ෂ 1963 දී ජාතික කලායතනයට ඇතුළත් වී චිත්‍රකලාව පිළිබඳව පස් වසරක පාඨමාලාවක් හදාරා ඇත. පස් අවුරුදු ඩිප්ලෝමා සහතිකය ලබාගත් සුමින්ද දිසානායකයන් 1964 සිට 1985 දක්වාම වසර 21 ක් ම ටයිම්ස් ආයතනයේ සිංහල ප්‍රකාශනයන් වූ දිනපතා ලංකාදීප, ‘ශ්‍රී ලංකාදීප’, ’රසවාහිනී’ ‘වනිතාවිත්ති’ යන පුවත්පත්වල සහ සඟරාවල ට චිත්‍රකතා 40 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. ‘ශ්‍රී ලංකාදීපයට, යුලිසීස්, හර්කියුලීස්, තීසියස්, නයෝමි, ලෝනා ඩූන්, දුර්ගා, අව්රෝරා, කර්ණ, කාලිංගා, අයෝමා, චමිලා, කුවේර, කොංගා, ටොමී සමග මහානාම දිසානායක ශූරීන් විසින් රචිත ‘සෙබල කුමරිය’ වැනි චිත්‍රකතා සුමින්ද දිසානායක විසින් නිර්මාණය කරන ලද චිත්‍රකතා අතර විය.
ටයිම්ස් සමාගමෙන් සමුගත් සුමින්ද දිසානායකයන් පසුව උපාධිධාරී ගුරුවරයෙකු ලෙස බදුල්ලේ ඌව මහ විද්‍යාලයයේ චිත්‍ර ගුරුවරයා වශයෙන් සේවයට එක්විය. පසුකාලීනව ‘සමනල‘ චිත්‍රකතා පත්‍රයටත්, ‘මධුර’ චිත්‍රකතා පත්‍රයට මෙන්ම ’හිතවත’ චිත්‍රකතා පත්‍රය ‘පාෂාණ’ නැමැති චිත්‍රකතාවද එක්කරමින් වීර කතා නිර්මාණයට සුවිශේෂි හපන්කම් දැක්වූ සුමින්ද දිසානායකයන්හට විශාල පාඨක රසික පිරිසක්ද සිට ඇති බව රහසක් නොවීය.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ මහානාම දිසානායකයන් ට දාව ඉපදී ටයිම්ස් ආයතනයෙන් නිකුත් වූ පුවත්පත්වල පළවූ චිත්‍රකතා තුළින් සිරිලක ජනතාවගේ ආදරය දිනා ගත් සුමින්ද දිසානායක නම් වූ චිත්‍රකතා ශිල්පියා අපට දායාද කර ගිය නිර්මාණ සදාකාලිකවම අප අතර පවතිනු ඇත. එතුමාගේ මෙහෙවර ‘ලංකාකොමික්ස්’ අප සදා අගයමු.

  • එල්බියස්

සුමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: