ශ්‍රී ලාංකාවේ ප්‍රථම චිත්‍රකතාව ‘නීලා’ ට වසර 70 යි

ශ්‍රී ලංකාවේ චිත්‍ර කතා ඉතිහාසය ඇරඹෙන්නේ 1951 ඔක්තෝබර් 28 ඉරිදා ශ්‍රී ලංකාදීප පුවත්පතෙනි. ඉරිදා ශ්‍රී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුරු දැරූ ඩී. බී. ධනපාල සූරීන්ගේ අදහසකට අනුව, ලංකාදීප පත්‍රයේ පුවත්පත් කලාවේදී ධර්මසිරි ජයකොඩි ගේ රචනාවකට අනුව ”නීලා” චිත්‍ර කතාව අඳින ලද්දේ චිත්‍ර ශිල්පී ජී.ඇස්. ප්‍රනාන්දු හෙවත් ගම්වාසී සරත් ප්‍රනාන්දු විසින් ය. නීලා චිත්‍රකතාව එලෙසින් ලංකාවේ ප්‍රථම චිත්‍රකතාව බවටත් ජී. ඇස්. ප්‍රනාන්දු ප්‍රථම චිත්‍රකතා ශිල්පියා බවටත් පත්විය.
1904 පෙබරවාරි 08 වනදා බෙන්තර සුද්දාගොඩදී අන්දිරිස් ප්‍රනාන්දු පියාණන්ට දාව උපත ලද ජී. ඇස්. කලාකරුවාණන්ට සොයුරු සොයුරියන් සත් දෙනෙකු සිට ඇති අතර එතුමා පවුලේ සය වැනියා ලෙස උපත ලබා ඇත.

වඩුමුල්ල රජයේ පාසල් අධ්‍යාපනය ලත් ඔහු අට වන පන්තිය දක්වා එහි (දැන් ගාමිණී විද්‍යාලය) අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව අට වෙනි පන්තිය සමත් ජී. ඇස්. ට වෙදකම ඉගැන්වීම පියා වූ අන්දිරිස් ප්‍රනාන්දු ගේ අදහස විය. ඔහු සිය ඥාතියෙකු වූ, කොළඹ කොටුවේ මිහිඳු මාවතේ රාජසුන්දර වෙද රාළහාමි වෙත ජී. ඇස්. ප්‍රනාන්දුව යොමු කරන ලදි. වෙද රාළහාමිගේ නිවසේ නතර වී සිටි ජී. ඇස්. උදේ වරුවේ කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණෙන් සංස්කෘතික භාෂාවත්, සවස කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගත්තේය.

මිහිඳු මාවතේ සිට මාළිගාකන්ද දක්වා ඇවිදගෙන යද්දී රිචඩ් හෙන්රික්ස් නමැති සුප්‍රකට චිත්‍ර ශිල්පියා ටවර් නෘත්‍ය ශාලාව අසළ නූර්ති නාටක වලට අදාළ තිර රෙදි අඳින අන්දම දිනපතා ඔහුගේ ඇස ගැටී තිබේ. යන එන ගමන් ඒ දෙස බලා සිටින්නට පුරුදු වූ ජී. ඇස්. , රිචඩ් හෙන්රික්ස් චිත්‍ර ශිල්පියා සමග කතා බහ කිරීමෙන් ඔහු හා මිතුරු වූ අතර, පින්සල් සේදීමට උදව් වීම, බුලත් විටක් ගෙන දීම වැනි සුළු උදව් කිරීමට පුරුදු විය. ජී. ඇස්. තරුණයා චිත්‍ර ශිල්පයට ඇති ලැදියාව දුටු රිචඩ් හෙන්රික්ස් චිත්‍ර ශිල්පියා ඔහුට තිර රෙද්දක චිත්‍ර ඇඳීමට අවස්ථාවක් ලබා දී ඇති අතර ජී. ඇස්. ද එය මනාව ඉටු කර දී ඇත. ජී. ඇස්. එම චිත්‍ර නිමා කර ඇති අන්දම ගැන මුව නොසෑහෙන සේ ස්තුති කර ඇති රිචඩ් හෙන්රික්ස් චිත්‍ර ශිල්පියා කීප දිනකට පසු ජී. ඇස්. ට සිතුවම් අධ්‍යයනය ලබා ගැනීම සඳහා මග පාදා දී තිබේ. ඒ අනුව ඔහු ඇම්. සාර්ලිස් මාස්ටර්ගේ ගෝලයකු බවට පත් විය.

වෙදකම ඉගෙන ගන්නට කොළඹට ආ ජී. ඇස්., චිත්‍ර ශිල්පයට යොමු වී පසු කලෙක රට තොට පතල කීර්ති නාමයක හිමිකරුවකු බවට පත් විය. බෞද්ධ චිත්‍ර, ජාතක කතා චිත්‍ර, විහාර චිත්‍ර නිර්මාණයෙහි ලා විශිෂ්ඨ දස්කම් දැක්වූ ඇම්. සාර්ලිස් මාස්ටර් එකල බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ එකල ලේඛකයන්ගේ, කවියන්ගේ පොත් වල කවර නිර්මාණය කර දුන් හෙයිනි. තමා හමුවට පැමිණි විද්වතුන්ට තම ගෝලයා හඳුන්වා දුන් එතුමා ඒ මගින් ද ජී. ඇස්. ට නමක් හදා ගන්නට මග පාදා දුන්නේය. එකල ඔහු ඇඳි පොත් කවර වල කොනක ජී. ඇස්. ඇෆ්. අකුරු තුන නිසා ඔහු ඉක්මනින් ප්‍රසිද්ධියක් ලැබුවේය.

1939 දී ටයිම්ස් පුවත්පත් ආයතනයේ ලංකාදීප පත්‍රයේ වෙළඳ චිත්‍ර ශිල්පියකු ලෙස රැකියාව ලබන්නට ඔහුට වාසනාව උදා විය. එකල ටයිම්ස් පුවත්පතට ලැබුණු විදේශීය වෙළඳ දැන්වීම් වල වූ චිත්‍ර වලට දේශීය ස්වරූපයක් ලබාදීම ජී. ඇස්.ගේ රාජකාරිය විය. දිනක් පිටරටින් ආ හෝර්ලික්ස් දැන්වීමක් හා සමානව එයට අනුරූප වන අන්දමින් කෙටි චිත්‍ර කතාවක් ඇඳ දෙබස් ද යොදා ජී. ඇස්. කළ කටයුත්ත ටයිම්ස් ආයතනයේ බලධාරීන්ගේ ඇස් අරවන්නට සමත් වී ඇත්තේය. එයින් පසුව එම සමාගමේ මෙරට නියෝජිතයින්ටද අන් සමාගම්වලටද දේශීයත්වය පිළිබිඹු කරන වෙළඳ දැන්වීම් නිර්මාණය කර දීම ජී. ඇස් ට පැවරිණ.

මෙකල ටයිම්ස් ආයතනයේ ‘ලංකාදීප’ සවස පත්‍රය සහ ‘ටයිම්ස්’ පත්‍ර ආරම්භ වී ඇති අතර එම පත්‍ර දෙකටම දේශපාලන කාටූන් අඳිමින් සිට ඇත්තේ ශ්‍රී ලාංකික බර්ගර් (Dutch Burgher) ජාතික ඔබ්රි කොලට් නම් කාටුන් චිත්‍රශිල්පියාය. ජී. ඇස්. ටයිම්ස් ආයතනයට බැඳුනු පසු වෙළඳ චිත්‍ර ඇඳීමට අමතරව ඔබ්රි කොලට් ටයිම්ස් පත්‍රයට අඳින කාටූන් ‘ලංකාදීප’ පත්‍රය සඳහා සිංහලයට සකස් කිරීම ද ඔහුට පැවරිණ. ‘ලංකාදීප’ පුවත්පතට වසරක් සපිරෙනවාත් සමගම දක්ෂ කාටුන් ශිල්පී ඔබ්රි කොලට් ලේක්හවුස් ආයතනයේ ’ඔබ්සර්වර්’ පුවත්පතට සේවය කිරීම සඳහා වේතනය දෙගුණයක් කර සේවයට බඳවා ගෙන ඇති අතර ‘ලංකාදීප’ පත්‍රුයේ පාලන අධිකාරිය කාටුන් ඇඳීමේ අභියෝගය ජී. ඇස්. කැඳවා ඔහුට භාර දී ඇත. ජී. ඇස්. ටයිම්ස් ආයතනයට බැඳෙන්නට පෙර ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට කාටූන් ඇඳ තිබිණ. 1931 දී ඩොනමෝර් කොමිෂන් වාර්තාව විවේචනය කරමින් නිර්මාණය කළ කාටූනය ජී. ඇස්. ගේ ප්‍රථම කාටූනය විය.

‘ඔබ්සර්වර්’ පත්‍රයේ කොලට්ගේ කාටුනය පළ වන දිනයේම ‘ලංකාදීප’ යේ ජී.ඇස් ගේ කාටුනයද පළ කරන්නට කටයුතු යොදා තිබිණ. එය අපූරු කාටුනයක් වී ඇති අතර එවකට කර්මාන්ත සහ මංමාවත් ඇමති තනතුර දැරූ ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මහතා එවක ටයිම්ස් ආයතනයේ පාලක සුදු මහතාට කතා කර කියා ඇත්තේ ‘පළමු දවසේම ජී. ඇස්. කොලට්ගේ කාටුනය පසු බස්සවා ඇති බවයි.

වරක් ලංකා අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා බෝපත්තලාවේ සත්ව ගොවිපලේ උත්සවයකදී රූමත් ලලනාවන් නාඹර පට්ටි ගොනුන්ට සාත්තු කරනු දැක එහිදී ‘මටත් පට්ටි ගොනෙකු වන්නට තිබුනානම් කොච්චර හොඳද?’ යි පවසා ඇත. මෙය කණ වැකුණු ජී. ඇස්. එම ගොවිපලේ හොඳ තරබාරු එළදෙනුන් අතර සිටින ලස්සන නෑම්බියන් දෙස බලමින් කෙල පෙරමින් සිටින තරබාරු පට්ටි ගොනකුගේ මුහුණට කොතලාවල මහතාගේ මුහුණ ඇඳ තිබේ. කාටුනයේ සිරස්තලය වී ඇත්තේ ද ‘පට්ටි ගොනා’ යනුවෙනි. එයට මානවසිංහ මහතා ලියන සුපුරුදු කවි දෙපදයද ඇතුළත් කර පසුවදා ‘ලංකාදීප’ පුවත්පත නිකුත් විය.

එදින දහවල් එකොළහ වන විට කඳවල වලව්වෙන් දුරකතන ඇමතුමක් ප්‍රධාන කතු තුමාට ලැබී ඇත්තේ ‘ජී.ඇස්. ට කඳවල වලව්වට එන්න කියාපන්’ යන පණිවුඩයයි. එම පණිවුඩයට අනුව ගැහෙන ගතින් යුතුව සිංහයාගේ කූඩුවට යන ආකාරයෙන් කඳවල වලව්වට ගිය ජී. ඇස්. ට කොතලාවලයන් සමග උදේ ආහාර ගැනීම සඳහා කෑම මේසයට වාඩි වීමට සිදුව ඇති අතර එතුමා සමග උදේ බිත්තර ආප්ප කෑමටද සිදු විය.

සියල්ල අවසානයේ ‘ගිය ගමන් මම කිව්වා කියල ලොක්කට කියාපන් ඒ කාටුන් එකේ මුල් පිටපත මට එවන්නයි කියල. මම ඒක මෙහේ රාමු කරල තියාගන්නවා’ යි පැවසූ එතුමා ජී. ඇස්. ගේ සාක්කුවට අලුත්ම රුපියල් සියයේ කොල පහක් දමා ඇත. ඔහු එය සිය මංගල උත්සවය සඳහා වියදම් කල බව ද වාර්තාවේ. කෙසේ නමුත් ‘කොතලාවල’ ගතිය දැකීමෙන් අනතුරුව වැදගත්, උගත් ගති පැවතුම් ඇති නායකයෙක් කාටුන් පහරකින් කෝපයට පත් නොවන බව ලංකාදීප කතු මඩුල්ල මැනවින් තේරුම් ගෙන ඇත. එයින් පසුව කොතලාවලයන් සම්බන්ධව අඳින ලද කාටුන්වල මුල් පිටපත කොතලාවල අගමැතිතුමාට යැවීමටත්, එතුමා ගොනාට අඳින්නට හෝ පහත් කොට අඳින්නට ජී. ඇස්. උත්සාහ නොකර ඇති බවත් සඳහන් වෙයි.

’බුෂ් ෂර්ට්’ නමින් හැඳින්වෙන කමිසයත් හැඳ ට්විඩ් රෙද්දක් හැඳ, සෙරෙප්පු කුට්ටමක් දමාගෙන කණ්නාඩි කුට්ටමක් පැළඳ නිහතමානීව ඇවිද යන ජී. ඇස්. ප්‍රනාන්දු මහතා දුටුවකු ඔහු ගැන සිතන්නේ ඉංග්‍රීසි වචන හත අටක්වත් නොදන්නා අයකු හැටියටය. ඒ ඔහුගේ චාම්කම නිසාය.

ජී. ඇස්.ගේ ලොකු පුතා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු කරන්නට, ලොකු දුව පුවත්පත් කලාවේදිනියක කරන්නට දෙවෙනි පුතා වාස්තු විද්‍යාඥයකු කරන්නට, දෙවෙනි දියණිය පුහුණු ගුරුවරියක කරන්නට එතුමා කටයුතු කලේ පැන්සලත්, පින්සලත් ආධාරයෙනි. තමන්ගේ කාර්යය වෙනුවෙන් කිසිවකුගෙන්වත් ගරු සම්මාන උපහාර පුද සත්කාර එතුමා කිසිවිටෙක බලාපොරොත්තු නොවීය. ටවර් රඟහල යටතේ මුල්ම කලා ශූරී සම්මාන ප්‍රදානයේදී චිත්‍ර කලාව වෙනුවෙන් මුල්ම කලා ශූරී සම්මානය, මුදල් පරිත්‍යාගයක් ද සමග ආර්. ප්‍රේමදාස අගමැතිතුමා පිරිනැමුවේ ජී. ඇස්. ප්‍රනාන්දු ශිල්පියාණන්ටය.
ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව ‘නීලා’ ‘ලංකාදීප’ පුවත්පත සඳහා නිර්මාණය කිරීමෙන් අනතුරුව ‘ලංකාදීප’ පුවත් පත සඳහාම නීල කුමාර, බහිරව පූජාව, මහා භාරතය, සිරකරුවා, තානායම, සරදියෙල්, වෙද බිරිඳ, මහබඹාට මුහුණු දෙකයි, ජේම්ස් බණ්ඩා, මඩොල් දූව වැනි චිත්‍රකතා රාශියක් නිර්මාණය කර ඇති ජී. ඇස්. පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, කරුණාසේන ජයලත්, ධර්මසිරි ගමගේ වැනි ලේඛකයන්ගේ පොත් පිට කවර ද නිර්මාණය කර ඇත. ඇම්. ඩී. ගුණසේන සමාගමේ නිල මුද්‍රාව ද ජී. ඇස්. ප්‍රනාන්දුගේ නිර්මාණයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහසකට අනුව එය නිර්මාණය කර ඇති අතර එහි දැක්වෙන්නේ ගුරුළු ගෝමි රුවයි. ගුණසේන සමාගමේ ගුරුළු ගෝමි ලාංඡනය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිතf්‍යා්දය කතා (1949) කෘතියෙහි ප්‍රථම වරට මුද්‍රණය කර ඇත.

දේශපාලන කාටූන් 5000 ට අධික සංඛ්‍යාවක් සහ චිත්‍ර 50,000 ට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ ශ්‍රී ලාංකේය චිත්‍රකතාවේ නිර්මාතෘවර ජී. ඇස්. ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියාණන් අවුරුදු 88 ක් ආයු වළඳා 1990 ජූලි 07 වෙනි දින සදහටම මෙලොවින් සමු ගත්තද, ශ්‍රී ලාංකේය චිත්‍රකතා වංශ කතාවේ ඔහුගේ නාමය රන් අකුරින් ලියවෙනු ඇත. මෙවන් කලාකරුවන් දීර්ඝායුෂ ලබන්නේ ඔවුනගේ උපරිම ප්‍රයෝජනය ජනතාව වෙත සලසනු පිණිසමය.

ටයිම්ස් පුවත්පත් සමාගමේ දී මෙම සටහන ලියන මා හට ජී. ඇස්. ප්‍රනාන්දු මහතා කිහිප වතාවක්ම හමු වී ඇති බව ද සටහන් කරමි.

සටහන – එල්බියස්

(නැසී ගිය ලේඛක සෝමසිරි කස්තුරිආරච්චි මහතාගේ ලිපියක් පරිශීලනය කරන ලදී)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: