සිහින ලොවක් අතරින් චිත්‍රකතා ලොවට පිවිසි ආනන්ද දිසානායක

සිහින ලොවක් අතරින් චිත්‍රකතා ලොවට පිවිසි ආනන්ද දිසානායක
1977 වසරේදී ‘සිහින ලොවක්’ චිත්‍රකතාව තුළින් චිත්‍රකතා ලොවට පිවිසි ආනන්ද දිසානායක නම් වූ චිත්‍රකතා ශිල්පියාගේ ආගමනය පිළිබඳ තොරතුරු විමසන්නට ආනන්ද දිසානායකයන්ගේ මාලබේ පිහිටි ඔහුගේ සොඳුරු නිවහනට පිවිසියෙමු. 70 වසරක චිත්‍රකතා ලොවේ රස මුසු තැන් සොයා යන ගමනේ තවත් එක් පියවරක් අද මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු.
1953 නොවැම්බර් 19 දින කුරුණෑගල බාඳුරාගොඩ නම් වූ සුන්දර ගම්මානයේ පී. එච්. ඩී. දිසානායක පියාණන්ට සහ මියුලින් දිසානායක මාතාවට දාව උපන් ආනන්ද දිසානායකයන් ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ඉන්පසු කොළඹ ඉසිපතන මහ විදුහලට පැමිණෙන ඔහු පාසල් දිවියේ දී චිත්‍ර විෂයයට එතරම් උනන්දුවක් දක්වා නොමැත. ඔහු පාසල් දිවියේ මතක සටහන් අප හමුවේ පෙළ ගැස්වූයේ මෙසේය. ‘ඒ කාලේ මට චිත්‍ර අඳින්න කොහෙත්ම පුළුවන් කමක් තිබුනේ නෑ. පන්තියේ යාළුවන්ට කියල තමයි මගේ චිත්‍ර පොතේ චිත්‍ර ඇඳ ගන්නේ. දවසක් මේක පන්තියේදි ටීචර්ට අහුවුනා. එතකොට මම හතේ පන්තියේ. මට තනියම චිත්‍ර අඳින්න කියල ටීචර් මට සැර කලාවිතරක් නෙමෙයි මං ඇන්ද චිත්‍රය බලල ඒ චිත්‍ර පොත පන්ති කාමරෙන් එළියට විසිකරාම මට දුකක් වගේම ලැජ්ජාවකුත් ඇතිවුනා. පස්සෙ මම හිතා ගත්ත කොහොම හරි ලස්සනට චිත්‍ර අඳිනවා කියල. ඊට පස්සේ ටික ටික පැන්සලටයි පින්සලටයි අත හුරු කරගත්තා. ඒ සිද්ධිය තමයි මගේ චිත්‍ර ඇඳීමේ ආරම්භය වුනේ.’
එසේ සිය ගමන්මග වෙනස් කරගත් ඔහුට චිත්‍රකතා ලොවට පිවිසෙන්නට සිත් වන්නේද චිත්‍රකතා කියවීම නිසාමයි. එකල වෙළඳ පලට නිකුත් වූ චිත්‍රකතා පොත් කියවන්නට ආනන්ද පෙළඹී ඇත්තේ සුසිල් ප්‍රේමරත්න මාස්ටර් ගේ චිත්‍රකතා කියවීමෙන් පසුයි. බිලි පූජාව, ලන්දේසි හටන, රන් දූපත වැනි චිත්‍රකතා කියවීමෙන් එම චිත්‍ර වලට දැක්වූ ඇල්ම ආනන්ද චිත්‍රකතා ශිල්පියෙක් කිරීමට සමත්වී ඇත. ඒ වනවිට ‘සතුට’ චිත්‍රකතා පත්‍රය බිහිවී තිබුනත් චිත්‍රකතාවක් ඇඳ පළ කරගැනීමේ නොතිත් ආශාවෙන් පසු වූ ඔහුට එය සපුරා ගන්නට හැකිවී නොමැත. ආනන්ද සිය මතකයන් අවදිකරමින් මෙසේ පැවසුවේය. ‘ඒ කාලේ මං චිත්‍රකතා පිස්සෙක්. දවසක් රාජගිරියේ ලක්ෂ්මන් සරත්ගේ ‘අලියා බීම, ඒජන්සියෙදි ගුණපාල ජයලත් අයියා මුල්ම වරට හමුවෙලා දැන හඳුනාගත්තා. ඊට පස්සේ ඔහු මං ඇඳපු චිත්‍රකතාවක් එක්ක මාව ‘සතුට’ හිටපු කර්තෘ බන්ධුල සමරසිංහ මහත්මයට හඳුන්වල දුන්නා. ගුණපාල ජයලත් අයියගේ කලා ගුරුවරයා වුන ‘ගස්පේ රත්නායක’ මහතා මගේ මෑණියන්ගේ ගම් පියස වුන ‘බාඳුරාගොඩ’ ගමේ කෙනෙක්. අනික කුරුණෑගල සුන්දර ගම්මානයක සුන්දරත්වය විඳිමින් ජීවත්වුන අපි ගමේ කම නිසා වඩාත් සමීප මිතුරන් බවට පත්වුනා’
ඉතින් ඔන්න එහොම තමයි ආනන්ද දිසානායකයන්ගේ ‘සිහින ලොවක්’ චිත්‍රකතාව බන්ධුල සමරසිංහයන් විසින් නිකුත් කල ‘සිනෙත්‍ර‘ චිත්‍රකතා පත්‍රයෙන් දොරට වඩින්නේ. ‘සිනෙත්‍ර’ චිත්‍රකතා පත්‍රය කලාප 40කින් සිය ගමන් මග නිමා කරද්දි ඔහුටත් සිදුවෙන්නේ ආයෙමත් හුදකලා වෙන්න. ගමෙන් කොළඹට ආව ආනන්ද චිත්‍රකතා ලොව හුදකලා වෙද්දි ආයෙමත් ආනන්දට අත්වැලක් වෙන්නේ ඔහුගේ සමීප මිතුරායි. ගුණපාල ජයලත් ‘සිත්තර’ ට සම්බන්ධ වුනාම කැමිලස් පෙරේරා මහත්මයට ආනන්දව හඳුන්වල දෙනවා. ඒ පිළිබඳවත් ආනන්ද සිය මතකය මෙසේ අවදි කලා. ‘කැමිලස් පෙරේරා මහත්මයට මාව හඳුන්වල දීලා මාව වෘත්තීය චිත්‍රකතා ශිල්පියෙක් කලේ ගුණපාල ජයලත් මිතුරා. අපේ මිත්‍රත්වය අවුරුදු 38 ක් පුරාවටම නොනැසී තිබුනා. ගුණපාල ජයලත් මිතුරා 2016 දි අපෙන් සදහටම සමුගත්තා. ඒක අදටත් මට වේදනාවක්’ සිය ජීවන ගමනට අත්වැලක් සැපයූ තමා වෘත්තීය චිත්‍රකතා ශිල්පියෙක් බවට පත්කල තම හිත මිතුරු සහෘදයාගේ සමුගැනීම ඔහු අදත් සිහිපත් කරන්නේ වේදනාවෙන් යුතුවයි.
1979 දී ‘සිත්තර’ට එක්වූ ආනන්ද දිසානායකයන් අතින් නිම වූ ’සඳකුමරි’ චිත්‍රකතාව පාඨක රසිකයන් ආදරයෙන් වැළඳ ගනිද්දී ඔහු කාර්ය බහුල චිත්‍රකතා ශිල්පියෙක් බවට පත්විය. ඉන් පසු ‘සුහද’ පත්‍රයටද සම්බන්ධ වී අපර්ණා, අතේ දුරින්, ලී ආපසු එයි, සප්ත කන්‍යා, සෙව්වන්දි වැනි චිත්‍ර කතා නිර්මාණය කළේය.
කැමිලස් පෙරේරා මහතාගේ ‘සත්සිරි’ පත්‍රයට සිය කළණ මිතුරා වූ ගුණපාල ජයලත් සමග සම්බන්ධ වූ ආනන්ද, ඉන්දීවරී, උපේක්ෂා, සඳුට හොරෙන්, උමතු වසන්තය, සරුව පිත්තල, දමනය, නිශාචරයෝ, පූජනීයයි ආදරේ, අපි බය නෑ, උන්මාදනී මෙන්ම කැමිලස් මහතාගේ ‘රසික’ චිත්‍රකතා පත්‍රයට සයුරී, කොටි සෙල්ලම, සචී, මං මුලා, ඕම්, නිශාචරයෝ, පොර, රාජන්, නිදි නැති රෑ, වස, වෙස්සන්තරාවි යන චිත්‍රකතාද නිර්මාණය කර ඇත. ‘සත්සිරි’ පුවත්පත නතර වනතුරුම එහි රැඳි සිටි ආනන්ද, පසුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සජීවකරණ අංශයේ මාධ්‍ය රූප ශිල්පියෙක් ලෙස සේවයට එක්විය. ඉන් අනතුරුව ඩි අල්විස්, ෆස්ට් ඇන්ඩ් ෆෝවර්ඩ් සහ මයින්ඩ්ස් යන ප්‍රචාරක ආයතන වල වාණිජ චිත්‍ර ශිල්පියකු ලෙස සේවය කළ ඔහු අද සිය නිවසට වී වෙළඳ ප්‍රචාරක චිත්‍ර නිර්මාණයේ නිරතව සිටියද, 1976 සිට අද දක්වා වසර 45 ක් අඛණ්ඩව චිත්‍රකතාකරණයට සිය දායකත්වය නොඅඩුව ලබා දෙයි.
බන්ධුල හරිස්චන්ද්‍ර, ජනක රත්නායක, වික්‍රම යන චිත්‍රකතා ශිල්පීන් ආනන්ද දිසානායක ඉතා අගය කොට සළකනවා. ඔහු පවසන්නේ ඔවුන්ගේ කුසලතාවයන් නිසියාකාරයෙන් මෙහෙයවා ඔවුන් සතු කාර්යයයන් පාඨකයන් හමුවේ නිසි ලෙස ඉදිරිපත් කිරීම නිසා තම විශේෂ කැමැත්ත ඔවුන්ට හිමිවන බවයි.
චිත්‍රකතා ලොව සැරිසරමින් සිටියදීම සිය අනාගත සහකාරියද ආනන්දට හමු වී ඇත. චන්ද්‍රිකා වීරසූරිය ඔහුගේ ආදරණීය බිරිඳයි. පැතුම්, සිදත් හා සන්තුස ඔවුන්ගේ පුතුන් තිදෙනායි.
1976 දී ‘සිහින ලොවක්’ චිත්‍රකතාවෙන් චිත්‍රකතා ලොවට පිවිස වසර 45 ක් පුරාවට අඛණ්ඩව චිත්‍රකතාකරණයට සිය දායකත්වය නොඅඩුව ලබා දෙන ආනන්ද දිසානායක නම් වූ චිත්‍රකතා ශිල්පියාගේ මෙහෙවර ‘ලංකාකොමික්ස්’ අප සදා අගයමු.ට ආනන්ද දිසානායකයන්ට ‘ලංකාකොමික්ස්’ වෙතින් හෘදයාංගම වූ සුබ පැතුම්.

  • එල්බියස්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: